Thursday, April 25, 2024

General line - 0115112241

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට රාත්‍රි තැපැල් දුම්රිය හරස් වෙයි

වසන්ත පිවිතුරු




උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ ඊයේ (21) කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය පීලී පැනීමට ලක්වීම හේතුවෙන්. දෙමෝදර - ඇල්ල දුම්රිය ස්ථාන අතර මෙම පීලී පැනීම සිදුව ඇති බවයි දෙමෝදර දුම්රිය ස්ථානාධිපති කේ ආර් පී කුමාර nethnews.lk වෙත කියා සිටියේ.

මේ හේතුවෙන් අදාළ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු තාවකාලීකව නතර කර ඇති බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් රාත්‍රි තැපැල් දුම්රියේ 3වන මැදිරිය පීලී පැනීමට ලක්ව ඇති බව සඳහන්.

මාර්ගයේ සිල්පර කොට කිහිපයක් හානි වී ඇති බැවින් එය යථා තත්ත්වයට පත් කරන තුරු දුම්රිය මාර්ග භාවිත කළ නොහැකි බවද දෙමෝදර දුම්රිය ස්ථානාධිපති කේ ආර් පී කුමාර nethnews.lk වෙත සඳහන් කළා.

මේ අතර රාත්‍රි තැපැල් දුම්රිය පීලී පැනීමට ලක්වූ අවස්ථාව වන විටත් බදුල්ල සිට කොළඔ කොටුව දක්වා ධාවනය වන උඩ රට මැණිකේ දුම්රිය එම ස්ථානයට ළඟාවී තිබු අතර රාත්‍රි තැපැල් දුම්රියේ පැමිණි මගීන් එම දුම්රියට නංවා බදුල්ල බලා පිටත්කර යවා තිබෙනවා.

මාර්ගය යථාතත්ත්වයට පත්කරන තුරු උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු දෙමෝදර දක්වා සීමා වනු ඇති බව අපේක්ෂා කෙරෙනවා.