Friday, March 29, 2024

General line - 0115112241

පාකිස්තානය සමග නව ගිවිසුම් 03ක්




ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික හා වෙළඳ සහයෝගීතාව ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමට පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ෂහීද් කබාන් අබ්බාසි සහතික වී තිබෙනවා. ඒ, එරට රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ඊයේ (23) රාත‍්‍රියේ පැවති ද්වී පාර්ශවික සාකච්ඡාවලදීයි.

මෑත ඉතිහාසයේ ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු වෙත කරන ලද පළමු නිල ඇරයුම සනිටුහන් කරමින් තමා වෙත මෙම ආරාධනය කිරීම පිළිබඳ එහිදී ජනාධිපතිවරයා පාකිස්තාන රජය වෙත සිය ස්තූතිය පිරිනමනු ලැබුවා. දෙරට අතර ආර්ථික, වෙළඳ මෙන්ම ආරක්ෂක පුහුණු වැඩසටහන් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද දෙපාර්ශවය දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එමෙන්ම තෙල් සහ ස්වභාවික වායු ක්ෂේත‍්‍රයේ සිය අත්දැකීම්  ඕනෑම මොහොතක ශ‍්‍රී ලංකාවට ලබාදීමට සූදානම් බවද පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

ඉකුත්දා මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ සිද්ධීන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ බව සඳහන්.

පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ අදාළ ගැටළු විසඳීම සඳහා පරිණත දේශපාලන අත්දැකීම් යොදා ගනිමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ ආකාරය පිළිබඳ සිය ගෞරවය පිරිනමන බවයි. ඊට ප‍්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා, එම සිදුවීම ඇතැම් කණ්ඩායමක් වැරදි ආකාරයෙන් භාවිත කිරීමට ගත් උත්සහයක් බවද ඒ පිළිබඳ තමා කණගාටුවන බවද ප‍්‍රකාශ කර තිබෙනවා.

ද්වීපාර්ශවික සාකච්ඡාවලින් පසුව ශ‍්‍රී ලංකාව හා පකිස්තානය අතර අවබෝධතා ගිවිසුම් 03කට ද අත්සන් තැබුණා. 

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර පුහුණු ආයතනය සහ පාකිස්ථානයේ විදේශ සේවා ඇකඩමිය අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සහ පාකිස්ථාන විදේශ ලේකම්වරයා අත්සන් කළා.

පාකිස්ථානයේ ජාතික ප්‍රතිපත්ති පිළිබද ජාතික පාසල සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය අතර ද ගිවිසුමකට අත්සන් තැබුණු අතර, පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා සහ පාකිස්ථානයේ ජාතික ප්‍රතිපත්ති පිළිිබද ජාතික පාසලේ පීඨාධිපතිවරයා ඊට අත්සන් තැබුවා.

දෙරට අතර තරුණ සංවර්ධන ගිවිසුමකට ද පාකිස්ථානයේ අන්තර් පළාත් සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා අතර අත්සන් තැබුවා.