Saturday, April 20, 2024

General line - 0115112241

ඕනෑම මොහොතක මා සුදානම් - ට්‍රම්ප් කියයි: ඉවසිල්ලෙන් සිටින්නැයි එ.ජා. සංවිධානය කියයි (VIDEO / PHOTOS)

දිනුක් හේවාවිතාරණ / සුපෙම් මානගේ - විදෙස් වාර්තා ඇසුරෙන්




සිරියාවට එරෙහිව අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් විසින් එල්ල කල මිසයිල ප්‍රහාර සාර්ථකවූ බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටිනවා. ඊයේ (14) වෙනිදා රාත්‍රියේ සිරියාවේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවන් 02 ක් හා ආයුධ ගබඩා කර තිබෙන භූගත බංකරයක් ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලැබූ මෙම ප්‍රහාරයෙන් පසුව ඒ හා සම්බන්ධ වන චන්ද්‍රිකා ජයාරූප අද (15) දිනයේ දී මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූවා.

මේ අතර සිරියාවේ යලිත් වරක් රසායනික අවි ප්‍රහාරයන් සිදුවුවහොත් තමන් අවශ්‍ය පිළිතුරු ලබා දීමට සියල්ල සුදානමින් තබා ඇති බවට අමෙරිකානු ජනාධිපතිවරයා අද යලිත් වරක් අනතුරු අඟවා තිබුනා. 

කෙසේ වුවත් දැනට උද්ගතව තිබෙන තත්ත්වය මත සියලුම සාමාජික රටවලට සාමාදානයෙන් සිටින්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටිනවා. ඒ අමෙරිකාව විසින් සිරියාවට මිසයිල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකෝපවී සිටීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

කෙසේ නමුත් අමෙරිකාවට ඔත්තු සපයන බවට චෝදනා කරමින් සිරියාවේ දී එක් පුද්ගලයෙකුට එරට ක්‍රියාත්මක වන කිසියම් කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කරන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.

මේ අතර අමෙරිකානු හමුදාවේ ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිළධාරි ලුතිනන් ජෙනරල් කෙනත් මැකෙන්සි කියා සිටියේ " සිරියාවේ රසායනික අවි වැඩසටහන අවසන් කරන තුරු තම මෙහෙයුම් ක්‍රියාත්මක බවත් එල්ල කල සියලුම මිසයිල ප්‍රහාරයන් නියමිත ඉලක්කයන්ට පතිත වූ බවයි".

 

..................................................................................................................................................................

අමෙරිකා ජනාධිපති හදිසියේ ජාතිය අමතයි - යුද්ධයකට යන්න සුදානම් වන්නැයි සිය හමුදාවට නියෝග කරයි (14-04-2018 06:40)

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර සිය රටේ ජනතාව ඇමතුවා. ඒ සිරියාවේ පසුගියදා සිදුවූ රසායනික ප්‍රහාරය සම්බන්ධයෙන් පැහැදිළි කරමින්.

" සිරියාවේ ජනාධිපති බශාර් අල් අසාද් ගේ රසායනික අවි සහ එම කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නැයි" තම හමුදාවන්ට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (14) නියෝග කල බව ඔහු ජාතිය අමතමින් කියා සිටියා. 

පළමු ලෝක යුද්ධයෙන් මිලියනයකට ආසන්න පිරිසක් මෙලෙස විෂ වායු ප්‍රහාරවලින් මිය ගිය බවට සිහිපත් කල අමෙරිකානු ජනාධිපතිවරයා සිරියාවේ සිදුවන සමුල ඝාතනයන් සම්බන්ධයෙන් ඔහු සෘජුවම රුසියාවට සහ ඉරානයට චොද්නා කළා.

සිරියාවට එරෙහිව සිදුකරන ප්‍රහාරයන්ට බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයද එක්ව සිටින බවත් ඒ පිළිබඳව තම ස්තුතිය පලකරන බවත් මෙහිදී සඳහන් කළා.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවමින් කියා සිටියේ ඉදිරියේදී ඔවුන්ට එරෙහිවද යුධමය පියවර ගැනීමට අමෙරිකාව පසුබට නොවන බවයි. 

(සිරියාවේ ඉකුත් දා එල්ල වූ විෂ වායු ප්‍රහාරයේ වීඩියෝවක් පහතින් දැක්වෙයි)