Thursday, April 18, 2024

General line - 0115112241

අයිස්ලන්තයත් ක්‍රිකට් පිටියට - පළමු ජාත්‍යන්තර ක්‍රිකට් සංචාරයේ ප්‍රතිවාදීන් මෙන්න

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිය පළමු ජාත්‍යන්තර තරගාවලිය සඳහා අයිස්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන ජුලි මාසයේදී තරග වැදීමට නියමිතයි.

එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අයිස්ලන්තයේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත බවයි.

අයිස්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ තම කණ්ඩායම තරග 04 ක සංචාරයක් සඳහා මෙලෙස එංගලන්තයට යෑමට නියමිත බවයි. 


ජුලි මස 24 වෙනිදා ලන්ඩනයේ හැම්ප් හිල් හිදී සිය පළමු තරග  MCC XI කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට අයිස්ලන්ත කණ්ඩායම සුදානමින් සිටින බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ක්‍රිකට් ක්‍රීඩාව අයිස්ලන්තයට මුල්වරට හදුන්වා දෙනු ලැබුවේ 1999 වසරේදී වන අතර මේ වන විට සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ජැකෝ රොබට්සන් පවසා සිටින්නේ.

" අපගේ පළමු සංචාරය ගැන අප ඉතා උනන්දුවෙන් පසුවෙනවා, ඒ වගේම තමයි අපිට අපේ නියම කණ්ඩායම තෝරා ගැනීමට අපහසුවී තිබෙනවා" යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

අයිස්ලන්තය ඉදිරියේදී ස්විට්සර්ලන්තය යටතේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන අතර ඔවුන් යුරෝපා ක්‍රිකට් කවුන්සිලයට තව නොබෝ දිනයකින් එක්වීමට සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

වසර 2003 දී, ටෙස්ට් තරග විශේෂ විචාරකයෙක් වන හෙන්රි බ්ලොෆෙල්ඩ් අනාවැකියක් පළ කරමින් කියා සිටියේ තවත් වසර 20 කින් පමණ අයිස්ලන්තය ලෝක කුසලාන තරගාවලියක් සඳහා ක්‍රීඩා කරනු ඇති බවයි.

අයිස්ලන්ත ජාතික කණ්ඩායම සිය ප්‍රථම FIFA ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබෙන අතර 2016 වසරේදී අයිස්ලන්ත පාපන්දු කණ්ඩායම විසින් යුරෝපිය ශුරතාවයේදී එංගලන්ත කණ්ඩායම දෙවන වටයේදී පරාජයට පත් කිරීම කැපී පෙනෙන දස්කමක් ද වුණා.

මේ වන විට අයිස්ලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකක් සිටින අතර ඒ රයික්ජිවික් වික්නිංස් හා කොපවේගුර් පුෆින්ස් යන කණ්ඩායම් වන අතර එහි බහුතරයක් සිටින්නේ විදේශීය ක්‍රීඩකයින් වීමද විශේෂත්වයක්.