Saturday, April 20, 2024

General line - 0115112241

බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී ගිනි ගනී - ගින්නට මැදි වූ ජීවිත බේරා ගැනීම වෙනුවට රැස් වූ පිරිස් වීඩියෝ කරයි (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




අද (16) උදෑසන 9.30ට පමණ කොළඹ සිට හම්බන්තොට බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක්, හම්බන්තොට දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් එම අවස්ථාවේදීම ත්‍රීරෝද රථය සහ බස් රථය ගිනි ගෙන තිබෙනවා.

හදිසියේ ඇති වූ මෙම ගින්නෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් හතර දෙනෙකු පිළිස්සීමෙන් බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කළ බවයි nethnews.lk වාර්තාකරු පැවසුවේ.

තිස්ස - මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට මිරිජ්ජවිල මංසන්ධියේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරට පත් ත්‍රීරෝද රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. මෙම සිද්ධියෙන් බස්රථයට ද අලාභහානි සිදු වී ඇති අතර බස් රථයේ ගමන්ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ.

අනතුරින් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ එකම පවුලේ මව, පියා, සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන අතර ඔවුන් වයස අවුරුදු 1ක් හා අවුරුදු 8ක් පමණ වන වයස්වල පසු වන කුඩා දරුවන් දෙදෙනෙක්.

සිද්ධිය දුටු ප්‍රදේශවාසින් මෙන්ම අනතුරටපත් අයගේ ජිවිත බේරාගැනීමට කටයුතු කල පිරිස් පවසා සිටියේ මිනිසුන් ගින්නට හසුවී සිටින විටත් එතනට පැමිණි බොහොපිරිස් ඔවුන් බේරාගැනීමට කිසිඳු සහයක් නොදක්වා ජංගම දුරකථන මගින් ඡායාරුප සහ වීඩියෝ කරමින් සිටි බවයි.