Friday, April 26, 2024

General line - 0115112241

"3 වන ලෝක යුද්ධය ඇරඹෙයි" පුටින් කියද්දී අමෙරිකාවට වැරදුණු තැන් ඉන්දියාව මතක් කරදෙයි

වසන්ත පිවිතුරු - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිරියාවේ වත්මන් තත්ත්වය හමුවේ 3 වන ලෝක යුද්ධය ඇතිවීමේ අවදානමක් පවතින බව ලොව රටවල් සිය අදහස් පල කර ඇති බවට ඉන්දියාව පවසනවා. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ ආකාරයේ මත පල කර ඇති බවයි ඉන්දියාව සඳහන් කර ඇත්තේ. පවතින තත්ත්වයන් හමුවේ 3 වන ලෝක යුද්ධයක් ඇති වුවහොත් ඉන්දියාව දරන මතය කුමක්දැයි ඉන්දීය මහචාර්ය රාම් මාක්ස්ගෙන් එරට මාධ්‍යයක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කළේ 3 වන ලෝක යුද්ධය දැනටමත් ආරම්භ වී ඇති බවයි.

අද වනවිට විශාල අහිමිවීම්වලට සිරියාව මුහුණපා ඇති බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් කියා සිටියේ සිරියාව සම්බන්ධයෙන් බටහිර බලවතුන් එල්ල කරන චෝදනාව සත්‍යය වන්නට ද ඉඩකඩ පවතින බවයි. නමුත් ඊට එරෙහිව ගතයුතු ක්‍රියා මාර්ගය මීට වඩා වෙනස් විය යුතු බවත් සිරියාව වෙත අමෙරිකාව එල්ල කරන ප්‍රහාර සාධාරණ නොවන බවත් මහචාර්ය රාම් මාක්ස් සඳහන් කළා.

එමෙන්ම අමෙරිකාව එල්ල කරන ප්‍රහාර අනුමත කළ නොහැකි බවද ඔහු අදාළ මාධ්‍යය වෙත කියා සිටි බවයි වාර්තා වන්නේ. අමෙරිකාව හා ජපානය මෙයට වඩා දියුණු අවි ආයුධ භාවිත කරමින් මිනිසා ඝාතනය කළ ඉතිහාසයක් ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

මෙවැනි ආකාරයටම අමෙරිකාව මීට වසර 10ට පමණ පෙර ඉරාකය ආක්‍රමණය කළ අතර එහිදී ද ඉරාකය විෂ සහිත අවි භාවිත කරන බව පවසා දැඩි ප්‍රහාර එල්ල කළ බවයි මහචාර්යවරයා කියා සිටියේ. ඉන් ඉරාකය විනාශයට පත්වූ බවත් ජනතාව විසින් තෝරා පත්කර ගත් ඉරාකයේ නායකයා එල්ලා මැරිමෙන් පසු අනාවරණයේ වුණේ ඉරාකය සම්බන්ධයෙන් අමෙරිකාව එල්ල කළ චෝදනාව අසත්‍ය බවයි ඉන්දීය මහචාර්ය රාම් මාක්ස් කියා සිටියේ.

එහිදී අමෙරිකාව අදාළ චෝදනාව සත්‍යයක් යැයි සිතා ප්‍රහාර එල්ල කළ බවට පවසා අදාළ ප්‍රශ්නයෙන් පැන ගිය බව පෙන්වා දෙන ඔහු මෙවැනි ඉරණමක් සිරියාවට අත්වීමට පෙර එය වැළැක්වීමට ලොව රටවල් අත්වැල් බැඳගත යුතු බවද පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපති විලැදිමීර් පූටින් පසුගියදා සඳහන් කළේ 3 වන ලෝක යුද්ධය ඇරඹීමට අධික අවස්ථාවක් පවතින බවයි. ඒ අමෙරිකාව, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය පෙරේදා (14) රාත්‍රියේ සිරියාවට එල්ලකළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර හෙළා දකිමිනුයි. මෙහිදී රුසියාව, ඉරාන හා සිරියාව එක ස්ථාවරයක සිටින අතර අමෙරිකාව,ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ජර්මනිය හා අරාබි රටවල් තවත් මතයක සිටිනවා.

අදාළ කාරණාව සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් සිය ස්ථාවරය ප්‍රකාශ කර නොතිබුණත් මධ්‍යස්ථ භාවයක් අනුගමනය කරන බවයි පෙනී යන්නේ. කෙසේ වෙතත් පසුගියදා එල්ල වූ ප්‍රහාරය ඉන්දියාව ද හෙළා දැක තිබු අතර මෙය ඉතාමත් කුරීරු ප්‍රහාරයක් බවටයි ඉන්දියාව සඳහන් කර තිබුණේ.