Saturday, April 20, 2024

General line - 0115112241

පොහොට්ටුව පරදවා මොරවැව බලය සන්ධානය හා එජාපය අල්ලයි

අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය




ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට වැඩි සභික ධූර සංඛ්‍යාවක් හිමිවූ මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව අද (16) සමත් වුණා.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන හිමියන් සභාපති ධූරයට තේරී පත් වූ අතර එක්සත් ජාතික පක්ෂයේ සාලිය රත්නායක උපසභාපති ධූරයට තේරී පත්වුණා. පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන හිමියන් සමග සභාපති ධූරයට තරගවැදුනේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ඩබ්ලිව් ඒ ජගත් කුමාරයි.

එම ඡන්ද විමසීමේදී ජගත් කුමාරට ඡන්ද 7ක් ලැබුණු අතර පොල්හේන්ගොඩ උපරතන හිමියන්ට ඡන්ද 9ක් හිමිවුණා. එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ සභිකයාද උපරතන හිමියන්ට පක්ෂව ඡන්දය ලබා දුන්නා.

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිපල අනුව මොරවැව ප්‍රාදේශීය සභාවේ සභික ධූර 7ක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට හිමි වුණා. එක්සත් ජාතික පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභික ධූර 4 බැගින් හිමිව තිබූ අතර ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට එක් සභික ධූරයක් හිමිවුණා.