Wednesday, April 24, 2024

General line - 0115112241

ඇප ලැබීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට හේතුව හෙළි කළ අළුත්ගමගේ මන්ත්‍රීවරයා (AUDIO)

හේමන්ත කහවලගේ




පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය පොදු දේපළ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම නිතී විරෝධි ක්‍රියාවක් බව ඇප මත මුදාහැරීමෙන් පසු නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියා. 

තමන්ට මෙවැනි සිද්ධීන් වලට මුහුණ දීමට සිදුව ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමේදී ඊට නායකත්වය දීම හේතුවෙන් බවද මෙහිදී ඔහු සඳහන් කළා. 

කෙසේ වෙතත් අදාළ නඩුව පොදු දේපළ පනතට යටත් නොවන බව අධිකරණය පැහැදිළි තීන්දුවක් ලබාදී ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ සිටියදී එම නිළධාරීන්ට දුරකථන ඇමතුම් ලබාදුන් අමාත්‍යවරයා කවුරුන්දැයි නෙත් නිවුස් යොමු කළ ප්‍රශ්නයකට මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රිවරයා ප්‍රතිචාර දක්වමින් මෙසේ සඳහන් කළා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අළුත්ගමගේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (16) දිනයේදීයි. ඒ ඔහු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලසීමාවේදී කැරම් සහ දාම්බෝඩ් මිළදී ගැනීමේදී සිදුව ඇතැයි කියන රජයේ මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාළවයි.

අත්අඩංගුවට ගැනුණු මන්ත්‍රිවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රුපියල් 35,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියෝග කෙරුණා.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අළුත්ගමගේට විදේශගත වීමද තහනම් කරන ලෙයසි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ. ඒ අනුව මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළද එම ඇප කොන්දේසිය සපුරාලීමට මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රිවරයා අපොහොසත් වුණා.

ඒ, ඔහුගේ විදෙස්ගමන් බලපත්‍රය වෙනත් නඩුවකට අදාළව කොළඹ මහාධිකරණය භාරයේ තිබීම හේතුවෙන්. ඒ අනුවයි ඊයේ (16) දිනයේ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.

මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා අද (17) උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට යලි ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැරීමට නියෝග කෙරුණා.