Friday, March 29, 2024

General line - 0115112241

ලෝක ජනගහනයෙන් 95%ක් විෂ වායු හේතුවෙන් පිඩා විදින බවට වාර්තාවක් (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ලෝකයේ ජනගහනයෙන් 95% කට වඩා වැඩි සංඛ්‍යාවක් වායු දුෂණය හේතුවෙන් පිඩා විදින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. මෙම තත්ත්වයට ගොදුරු වී සිටින ලොව බහුතරයක් දරිද්‍රතාවයෙන් පෙලෙන රටවල ජනතාව බවයි ඉන් පෙන්වා දී ඇත්තේ.

වායුගෝලීය වායු විමෝචන වාර්ෂික වාර්තාවේ සඳහන් වන පරිදි, අහිතකර වායු ආශ්වාස කිරීම නිසා  2016 වසර වන විට ලෝක ජනගහනයෙන් මිලියන 6.1 මිය යෑමට හේතු සාධක වී ඇති බවට ගණන් බලා තිබෙනවා.

එම මරණ වලට ප්‍රධාන හේතු සාධක වී ඇත්තේ දුෂිත වාතය ආශ්වාස කිරීම නිසා ඇතිවූ ආඝාතය, හෘදයාබාධ, පෙනහළු පිළිකා සහ නිදන්ගත පෙනහළු රෝග වලට ගොදුරුවීමෙන් බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ අධික රුධිර පීඩනය, අධික තරබාරුව සහ දුම්පානය හේතුවෙන් බවත් ඉන් සිවුවෙනි ස්ථානයේ පසුවන්නේ අපිරිසිදු වාතය ආශ්වාස කිරීමෙන් සැදෙන රෝග හේතුවෙන් මිය යන පිරිස බවට එම වාර්තාවෙන් කරුණු අනාවරණය කර තිබෙනවා. 

වායු දුෂණයෙන් ලොව පුරා බාල, තරුණ සහ මහළු පුද්ගලයින් විශාල පිරිසක් ශ්වසන ආබාධ හා හුස්ම ගැනීමේ රෝග වලට ගොදුරු වන අතර ඒ හේතුවෙන්  ඔවුන්ගේ දෛනික කටයුතු සියල්ලම මෙයින් අඩපණ වන අතර අවසානයේදී ඉක්මන් මරණයකට ගොදුරු වීමේ හැකියාවද ඉහල අගයක් ගන්නා බව වාර්ෂික වායුගෝලීය වායු විමෝචන වාර්තාව එළිදක්වමින් එහි නියෝජ්‍ය ප්‍රධානි බොබ් ඔ'කීෆ් ප්‍රකාශ කර සිටියේ.

එම  වාර්තාවට අනුව වායු දූෂණය හේතුවෙන් වාර්තා වූ ලොව මරණ වලින් 50% කට වැඩි ප්‍රමාණයක් සඳහා චීනය හා ඉන්දියාව ඒකාබද්ධව වගකිව යුතු බවට කරුණු සොයාගෙන තිබෙනවා. එළිමහන් වායු දූෂණය හේතුවෙන් 2016 වසරේදී ඉන්දියාවේ වාර්තා වූ මරණ සංඛ්‍යාව මිලියන 1.1ක් වනවා. එය  චීනයද අභිබවා යාමක් ලෙසයි දැක්වෙන්නේ.

වායු දූෂණය අවම කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් චීනය යම් ප්‍රගතියක් මේ වන විට ලබා ඇති බවත් 2010 සිට පාකිස්ථානය, බංග්ලාදේශය හා ඉන්දියාවේ වායු දූෂණය සිග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

එයට ප්‍රධාන හේතුව වන්නේ එම රටවල බහුතරයක් ඝන ඉන්ධන දහනය කිරීම හේතුවක් බව සොයා ගෙන තිබෙනවා. 2016 වසරේදී ලෝක ජනගහනයෙන් 1/3 ක් එනම් බිලියන 2.5 ක් දැව හෝ අඟුරු වැනි ඝන ඉන්ධන භාවිත කරන අය බවත් ඔවුන් වායු දූෂණයට ගොදුරු විම වැළැක්වීම අපහසු බව නවතම වාර්තා වෙන් කරුණු හෙළි කර තිබේ.

බලපෑමට ලක් වූ බොහෝ අය ආසියාවේ හා අප්‍රිකාවේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල වාසය කරනු ලබන පුද්ගලයින් වන අතර ඒවා වායු දූෂණයට ලක්ව තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව වාර්ෂිකව වාර්තා වන අවුරුදු 05 ට අඩු දරුවන් ගෙන් මිලියන 1.7 කගේ මරණ සඳහා වගකිව යුත්තේ වායු දුෂණය බවයි. 2015 වසරේදී වාර්තා වූ මිලියන 09 ක් වූ මරණ සංඛ්‍යාවෙන්, 1/6 ක් වායු, ජලය, පස් හෝ රසායනික දුෂණයන් හේතුවෙන් සිදුවූ බව එම වාර්තා වෙන් පෙන්වා දී තිබෙනවා.

මෙම පර්යේෂණ වාර්තාවෙන් සඳහන් කර ඇත්තේ, අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල ජීවත් වන මිනිසුන් ගෙන් 92% ක ප්‍රමාණයක් මෙම වායු දූෂණයෙන් පිඩා විදින බවයි.


වායුගෝලීය වායු විමෝචන වාර්ෂික වාර්තාව https://www.stateofglobalair.org/sites/default/files/soga-2018-report.pdf