Friday, March 29, 2024

General line - 0115112241

ගනේමුල්ලේ පාසල් සිසුවියට අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් නව ජාතික පාසලක් - දැරියගේ පියාට ද රැකියාවක් (PHOTOS)




විශේෂ රෝගී  තත්ත්වයක් යැයි පවසමින් පසුගිය දා සමාජ පීඩනයට ලක්ව අධ්‍යාපන කටයුතු සඳහා බාධා එල්ල වූ ගනේමුල්ලේ පාසල් සිසුවියට, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ  මැදිහත්වීමෙන් නව ජාතික පාසලක් ලබාදීමට අද (18) පියවර ගැනුණා. ඒ සමාජ සවිබලගැන්වීම් හා සමාජ සුබසාධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් එම දැරිය අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කරවීමෙන් අනතුරුවයි. අදාළ පාසල් සිසුවියගේ විශේෂ රෝගී තත්ත්වය නිසා ඇයට පාසල් බලධාරීන් විසින් පරිභව කර ඇති බවට ද පසුගිය දා මාධ්‍ය වාර්තා පළ වුනා. එම නිසා ඇයට සිය පාසල ද අහිමි වන තත්ත්වයක් මතුව ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සඳහන් වුණේ.

 

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ඇතැම් අධ්‍යාපන බලධාරීන් විසින් සිදුකරනු ලබන  ක්‍රියා පිළිබඳව තමන් කණගාටුව පළ කරන බවයි. පළාත් පාසල් අධ්‍යාපන බලධාරීන් විසින් පළාත් මට්ටමින් සිදුවන මෙවැනි සිදුවීම් කළමනාකරණය කිරීමට සක්‍රීයව මැදිහත් විය යුතු බවත්, ඒවා ජාතික තලයට ගෙන ඒමට කටයුතු නොකළ යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.

 

මෙවැනි සිදුවීම් හේතුවෙන් දරුවන් මුහුණ දෙන ගැටලු ද විසඳීමට හැකි වන පරිදි ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බවත්, දිවයිනේ සියලු රජයේ, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් එම ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලය තුළින් නියාමනයට ලක් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළා. අදාළ දැරියගේ පියාට ද අධ්‍යාපන සුදුසුකම් වලට අනුව සුදුසු රැකියාවක් ලබා දීමට ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් තීරණය කර තිබෙනවා.

 

මෙහි දී අදහස් පළකළ සමාජ සවිබලගැන්වීමේ හා සමාජ සුබසාධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ  මැදිහත්වීම ප්‍රශංසනීය බවයි. එමෙන්ම එම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගැනීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කරන බවත්, මෙම සිදූවීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාල හරහා ද්වේශ සහගත ප්‍රකාශයන් සිදුකරන පිරිස් වෙත මෙය කදිම පිළිතුරක් බවත් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මෙහි දී කියා සිටියා.