Thursday, April 25, 2024

General line - 0115112241

ලොව පුදුම හතෙන් එකක් විනාශ වෙමින් යයි (PHOTOS / VIDEOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




ලොව ස්වභාවික පුදුමයන් හතෙන් එකක් ලෙස සැලකෙන විශාලතම කොරල් පරය වන ඕස්ට්‍රේලියානු මහා බාධක පර්වතය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් විනාශ වෙමින් තිබෙන බව විද්‍යාඥයින් පවසනවා.

2016 වසරේදී ඇතිවූ විශාලතම සමුද්‍ර තාප තරංග හේතුවෙන් මහා බාධක පර්වතයේ පිහිටි දැවැන්ත කොරල් හා බ්ලීච් විනාශ වෙමින් පවතිනවා. මෙයින් දැඩිව හානියට පත්ව ඇත්තේ මහා බාධක පර්වතයේ උතුරු දෙසින් පිහිටි සැතපුම් 500 ක දිගින් යුත් වන ප්‍රදේශයක්. 

1998 සහ 2002 වර්ෂයන් හිදී මෙවැනි තාප තරංග හේතුවෙන් මහා බාධක පද්ධතියේ පිහිටි කොරල් වලට සුළු හානි සිදුව තිබුනා. නමුත්  2014 වසරේ සිට ගෝලීය උෂ්ණත්වය ඉහල යාම හේතුවෙන්  2017 වසර වන විට සියලුම ලොව මුහුදු කලාපයන් ගේ පිහිටි සියලුම කොරල් පරවලින් හතරෙන් තුනකට මෙය බලපා ඇති අතර ඒ නිසා කොරල් පර විනාශ වීම ඉක්මන්වී තිබෙනවා. 

ඕස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලයේ අධ්‍යන අංශයේ අධ්‍යක්ෂක හා ජේම්ස් කුක් සරසවියේ කොරල්පර අධ්‍යන අංශයේ ප්‍රධානි ටෙරී හියුස් සඳහන් කලේ 2016 වසරේ ඇතිවූ සමුද්‍ර තාප තරංගවලින් මහා බාධක පර්වතයේ පිහිටි කොරල් පද්ධතියේ 30% කට හානි සිදුව ඇති බවයි. 2017 වසරේදී ඇතිවූ තාප තරංග හේතුවෙන් එම තත්ත්වය තවත් වැඩි වෙමින් පවතින බව ඔහු සිය වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

පසුගිය වසර දෙකක කාලය තුල ඇතිවූ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් මහා බාධක පර්වර්තයේ පිහිටි කොරල් පරවලින් 50% ක් පමණ විනාශ වී ඇති බව අමෙරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය අධ්‍යන අංශයේ ප්‍රධානි මාක් ඊකිං සඳහන් කරනවා. 'අප සිතුවාටත් වඩා මෙම තාප තරංගවලින් කොරල් පරවලට ඇතිව තිබෙන බලපෑම ඉහල අගයක් ගෙන ඇති බවයි' ඔහු පෙන්වා දෙන්නේ.

මනුෂ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සහ අනෙකුත් වායු ඉහල යාම නිසා මෙලෙස මුහුදේ තාප තරංග ඇතිවීමට බලපාන මුලික සාධකය බවයි ඔහු සඳහන් කළේ.

වසරකට මිලියන 2 ක ජනතාවක් ඕස්ට්‍රේලියානු මහා බාධක කොරල් පරය නැරඹීමට පැමිණෙන අතර ඒ හරහා රැකියාවන් 64,000 ක් උත්පාදනය වී තිබෙනවා. ඒ හරහා වාර්ෂිකව ඕස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 6.4ක් දායකත්වය සපයනු ලබනවා. 

ලොව පුරා ජිවත් වන බිලියනයකට ආසන්න ජනතාවකට අවශ්‍ය කරනු ලබන ප්‍රෝටීන ආහාර සැපයීමට කොරල් පර මගින් සිදු කරනු ලබනවා. එමෙන්ම ලොව වටා වෙරළ තීරයන් ආරක්ෂා කිරීම සහ සමුද්‍ර ආරක්ෂාව සඳහා කොරල් පර මගින් ලැබෙන සේවය අතිමහත්.

මිනිසා විසින් දේශගුණික විපර්යාස පාලනය නොකළහොත් මුහුදේ උෂ්ණත්වය ඉහල යාමෙන් ලොව පුරා කොරල්පර පද්ධතියේ විනාශය ඉක්මන් වන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.