Saturday, April 20, 2024

General line - 0115112241

බෝම්බ බියක් නිසා ජර්මනියේ බර්ලින් නගරයේ කොටසක් වසා දැමෙයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




දෙවන ලෝක යුද  සමයේදී ජර්මනියට හෙළූ බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීමට පියවර ගැනීමත් සමග බර්ලින් අගනුවර සිටින ජනතාවගෙන් කොටසක් එම ප්‍රදේශ යෙන් ඉවත් කිරීමට ජර්මානු බලධාරීන් විසින් අද (20) පියවර ගනු ලැබුවා.

ජර්මනියේ අගනුවර වන බර්ලින් නගරය ඉලක්ක කර ගනිමින් 1939-1945 කාලය තුලදී මිත්‍ර හමුදාවන් විසින් ගුවනින් හෙලන ලද බෝම්බ වලින් පුපුරා නොගිය එක් බෝම්බයක් ලෙසට මෙය හැදින්වීමට පුළුවන් බවයි ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන විශේෂඥයින් පවසන්නේ.

පසුගිය බදාදා සොයා ගනු ලැබූ මෙම බෝම්බය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත එකක් වන අතර එය බරින් කිලෝග්‍රෑම් 500 ක් වනවා. 

මෙම බෝම්බය සොයා ගැනීමෙන් පසුව එය නිෂ්ක්‍රිය කිරීමට ජර්මානු බලධාරීන් අද දිනයේදී පියවර ගැනීමත් සමග ඒ ආසන්නයේ පදිංචි ජනතාව, රෝහල්, රජයේ අමාත්‍යංශ සහ බර්ලිනයේ මධ්‍යම දුම්රිය ස්ථානය වසා තැබීමට පියවර ගනු ලැබුවා.

මෙම තත්ත්වය හේතුවෙන් අද දිනයේ බර්ලිනයේ වෙසෙන ජනතාවගේ දෛනික කටයුතු රැසකට බාධා එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ජර්මනියේ විවිධ ප්‍රදේශ වලින් දෙවන ලෝක යුද සමයේදී හෙළූ බෝම්බ සොයා ගැනුණු අතර විශේෂඥයින් පවසන්නේ එවැනි පුපුරා නොගිය බෝම්බ දහස් සංඛ්‍යාවක් ජර්මනියේ තිබිය හැකි බවයි.