Thursday, April 25, 2024

General line - 0115112241

ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් අද සවස රැස්වෙයි

හේමන්ත කහවලගේ




එක්සත් ජාතික පක්ෂයේ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හා ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ විශේෂ සාකච්ඡා වට 03ක් අද (24) පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කමිටුව අද (24) පස්වරුවේ රැස්වන්නේ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් බවයි කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂයට නව කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත් කිරීම අනිද්දා (26) දිනයේ සිදුවනු ඇති බවටයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ. මේවනවිට සිටින කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 62ක්. පක්ෂ ව්‍යවස්ථාවට අනුව එය 92ක් දක්වා ඉහළ නැංවිය හැකියි. 

ඉන් 20 දෙනෙකු පත් කිරීමට බලය ඇත්තේ පක්ෂ නායකත්වයටයි. සෑම පළාතක්ම නියෝජනය කරන පරිදි ප‍්‍රාදේශිය සභා මන්තී‍්‍රවරුන් 09 දෙනෙකුද ඊට ඇතුළත්. සෑම දිස්ති‍්‍රක්කයක්ම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන්ද කෘත්‍යාධිකාරී මණ්ඩලය සමන්විතයි. 

මේ අතර ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක්ද අද (24) පැවැත්වෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡාව පැවත්වෙන බවයි. මෙහිදී තමන්ගේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අවදානය යොමු කරන බවයි ඔහු කියා සිටියේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද අද (24) රැස්වනවා. ඒ සඳහා ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වූ 16දෙනාගේ කණ්ඩායමටද ආරාධනා කර ඇතැයි සඳහන්. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, යහපාලන ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවටයි එම කණ්ඩායම දැනටමත් යෝජනා කර ඇත්තේ. ඒ සම්බන්ධයෙන් අද (24) පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තවදුරටත් සාකච්ඡා කරනු ඇති.