Friday, April 19, 2024

General line - 0115112241

බෝම්බයකින් හානි වූ සෙබලෙකුට ලොව ප්‍රථම ශිෂ්ණ හා වෘෂණ පැස බද්ධ කිරීම සාර්ථක වෙයි (VIDEO)




ලොව ප්‍රථමවරට පූර්ණ ශිෂ්ණය හා වෘෂණ පැස බද්ධ කිරීමක් සාර්ථකව ඉටුකිරීමට ඇමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

සැත්කම සඳහා එකොළොස් දෙනෙකුගෙන් සැදුම්ලත් ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට පැය 14 ට අධික කාලයක් ගතවී තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඇෆ්ඝනිස්තානයේදී බෝම්බයකින් තුවාල ලද සෙබළෙකුට අදාළ අවයව බද්ධය සිදු කරනු ලැබුවේ මේරිලන්ඩ්, බෝල්ටිමෝර් හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් විසින්. ඇෆ්ඝනිස්තානයේදී, සඟවා තිබු බෝම්බයක් මත පා තැබීම නිසා අදාළ සෙබළාට තුවාල සිදුවී තිබුණා.

මියගිය පරිත්‍යාගශීලියකුගේ ශිෂ්ණ, වෘෂණ පැස හා උදර බිත්තියේ කොටසක් මෙම බද්ධකිරීම සඳහා යොදා ගෙන තිබුණා.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ සෙබලාට ලිංගික ක්‍රියාකාරීත්වය ලැබීමටද හැකිවනු ඇති බවයි.

රාජකාරියේ යෙදී සිටියදී තුවාල ලද සෙබළෙකුට මෙවැනි සැත්කමක් කළ පළමු අවස්ථාව මෙන්ම වෘෂණ පැස සහ ඒ අවට උදර ප්‍රදේශය ඇතුළත් පූර්ණ පටක කොටසක් බද්ධ කරන ලද පළමු අවස්ථාවද මෙය බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් අචාර ධර්ම පිළිබඳ කරුණු සැලකිල්ලට ගැනීම හේතුවෙන් පරිත්‍යාගශීලියාගේ වෘෂණ කෝෂ බද්ධ නොකළ බවද වෛද්‍යවරු පවසා තිබෙනවා.

වැස්කියුලරයිස්ඩ් කොම්පොසිට් අල්ලොට්‍රාන්ස්ප්ලාන්ටේෂන් (vascularised composite allotransplantation) යනුවෙන් වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙන මෙවැනි සැත්කමකදී සම, අස්ථි, මාංශපේශී, ස්නායුබද්ධ හා රුධිර නාල යනාදී සියල්ල පද්ධති කිරීමේ ක්‍රියාදාමයක් ඇතුළත් වෙනවා.

ඇමෙරිකාව තුළ පළමු ශිෂ්ණ බද්ධය 2016 වසරේදී බොස්ටන්හි මැසචුසෙට්ස් මහා රෝහලේදී සිදු කර තිබෙනවා.

ලොව ප්‍රථම සාර්ථක ශිෂ්ණ බද්ධය කරනු ලැබුවේ දකුණු අප්‍රිකානු ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසින් වනවා.