Thursday, April 25, 2024

General line - 0115112241

අක‍්‍රමිකතා සෙවීමට පත්වූ කමිටුව රැස්වෙයි..හොරෙන් රට පැන්න නාවික නිලධාරියෙක් ගැනත් අනාවරණයක්

හේමන්ත කහවලගේ




ඉකුත් රජය සමයේ දූෂණ සහ අක‍්‍රමිකතා සෙවීමට පත් කළ අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රමුඛ කමිටුව ඉකුත්දා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී රැස්ව තිබෙනවා. ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාපතිවරයා සහ  පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරීන් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක්ද ඊට එක් වුණා.

මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර නඩරාජා රවිරාජ් ඝාතනය සහ කප්පම් ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැරගෙනගොස් අතුරුදන් කරවීම සිද්ධීන් පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගැනීමට සිටින නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා සම්බන්ධයෙන්ද මෙහිදී අනාවරණයක් සිදු කෙරුණා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින්. චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා නාවික හමුදාවේ ආධාරයෙන් රටින් පලාගිය ආකරය පිළිබඳව ඔහු එහිදී හෙළිදරව් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර එහිදී පවසා ඇත්තේ චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චිට රටින් පැන යාමට ඉකුත් වසරේදී සහාය දැක්වූයේ නාවික හමුදාව බවයි.

එම කාලයේදී නාවික හමුදාපතිවරයා ලෙස  කටයුතු කළේ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි රවීන්ද්‍ර විජේගුණරත්නයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන්  ඔහු පවසා ඇත්තේ නාවික හමුදාව උදව් කළ බවට සනාථ කළහොත් තමන් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි ධූරයෙන් ඉවත්වන බවයි.

නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චිගේ බිරිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ කොටුව චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදා නිලධාරී නිවස්නයේද සිය සැමියා  සිටි බවයි.

මේ අතර යෝෂිත රාජපක්ෂ නීති විරෝධි ආකාරයෙන් 42 දෙවතාවක් විදෙස් ගත වී ඇති බවටද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙහිදී සඳහන් කර තිබෙනවා. යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවෙන් ඉවත් කර ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නාවික හමුදාවට දැනුම් දීමෙන් අනතුරුවද මෙහිදී අනාවරණ වුණා.