Thursday, April 25, 2024

General line - 0115112241

නිතීඥ සංගමයෙන් සුගන්ධිකාට ලිපියක් (UPDATE)

අධිකරණ වාර්තාකරු / සමන්ත කුමාර




අධිකරණ ක්ෂේත‍්‍රය විවේචනය කරමින් කරන ලද ප‍්‍රකාශ සම්බන්ධයෙන් නිතීඥ සුගන්දිකා ප‍්‍රනාන්දුගෙන් ලිඛිතව කරුණු විමසීමක් කළ බව ශ‍්‍රි ලංකා නීතිඥ සංගමය පවසනවා. 

යම් හෙයකින් නීතිඥ සුගන්දිකා ප‍්‍රනාන්දු අදාල ප‍්‍රකශය සිදුකර ඇත්තේ සාක්ෂි නොමැතිව නම් ඒ පිළිබද ඇයට එරෙහිව සුදුසු පියවර ගැනීමටද ශ‍්‍රි ලංකා නීතිඥ සංගමය පසුබට නොවන බව එහි සභාපති  ජනාධිපති නීතිඥ යු ආර් ද සිල්වා සඳහන් කරනවා.

මේ අතර නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු ප‍්‍රසිද්ධ විවාදයක් සදහා කර ඇති අභියෝගයට ප‍්‍රතිචාර නොදැක්වීමට සිය සංගමය තීරණය කළ බවද ශ‍්‍රි ලංකා නීතිඥ සංගමය  පැවසුවා. වාද කිරීම නොව වැදගත් වන්නේ පවතින ගැටළු විසදා ගනිමින් වෘත්තීය අභිමානය රැකගැනීම බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

..........................................................................................................................................................................

නීතිඥ සුගන්ධිකා අධිකරණයේදී වරද පිළිගනී (01-05-2018 14:30)

අධික වේගයෙන් රිය පැදවීමේ චෝදනාවට වරද පිළිගත් නීතිඥවරියක් වන සුගන්ධිකා ප්‍රනාන්දු අවවාද කර මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය අද (01) නියෝග කළා.

මෙම නීතිඥවරිය විසින් අධිකරණ පද්ධතිය සහ ඇතැම් නීතිඥවරු සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් මෑතකදී සමාජ මාධ්‍යවල දැඩි කතා බහට ලක්වුණා.

අධිවේගී මාර්ගයේ පැයට කිලෝ මීටර 117ක වේගයෙන් රිය පැදවූයේ යැයි පවසමින් පෑලියගොඩ පොලිසිය ඇයට එරෙහිව චෝදනා පත්‍රයක්  ගොනු කර තිබුණා.

තමා මෙම චෝදනාවට වරද පිළිගන්නා බව ඇය අධිකරණයට දැන්වීමෙන් අනතුරුව ඇයව අවවාද කර මුදාහැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

-------------------------------

නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දුගේ ප්‍රකාශය අධිකරණය හෑල්ලූවට ලක්කරනවා

(25-04-2018 06:45)

(නිශාන් ද සිල්වා)

 

අධිකරණ ක්ෂේත‍්‍රය දැඩිව විවේචනය කරමින් නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු ඉකුත්දා කළ ප‍්‍රකාශය සත්‍ය ගවේෂකයෝ සංවිධානය දැඩිව හෙළා දකිනවා. එහි කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී දොලේවත්ත පැවසුවේ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් අදාළ ආයතන වෙත කරුණු වාර්තා කරන බවයි. 

ඇතැම් විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන් මෙන්ම නීතිඥවරුන් ද දූෂිත ක‍්‍රියාවල නිරත වන බව නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කර තිබෙනවා. පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ද ඇතැම් අවස්ථාවලදී  දුෂිත ලෙස කටයුතු කරන බවයි ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කරන්නේ.

මෙම ප‍්‍රකාශය හුදෙක් දේශපාලන උවමනාවක් මත සිදු කළ එකක් බවට ද නීතිඥ ප්‍රේමනාත් සී දොලේවත්ත චෝදනා කළා.

නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු සිදු කර ඇති මෙම ප‍්‍රකාශයෙන් මෙරට අධිකරණය පිළිබඳ ඇති ජනතා විශ්වාසය ද හෑල්ලූවට ලක්වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.