Thursday, March 28, 2024

General line - 0115112241

සිරියාවට-ඉරානයට ඊශ්‍රායාලය අනතුරු අඟවයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




තම ප්‍රහාරක ගුවන් යානා වලට එරෙහිව සිරියාව විසින් ඔවුන් සතුව තිබෙන රුසියාවෙන් ලබාදී තිබෙන නවීන ගුවන් ආරක්ෂක පද්ධතිය යොදා ගනු ලැබුවහොත් ඒව විනාශ කිරීමට කටයතු කරන බව ඊශ්‍රායෙල් ආරක්ෂක ඇමති ඇවිග්දෝර් ලිබර්මන් අනතුරු අඟවනවා.

ඊශ්‍රායෙල් පුවත් පතකට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේ සිරියාවට වැඩි දියුණු කරන ලද  S-300 වර්ගයේ නවීන ගුවන් ආරක්ෂක පද්ධතින් ලබාදීමට රුසියාව කටයුතු කරමින් සිටින බවයි.

" මෙතන සිදුවිය යුත්තේ සිරියාව ඔවුන්ට රුසියාවෙන් ලැබෙන ගුවන් ආරක්ෂක පද්ධතිය අපගේ ප්‍රහාරක යානා වලට එරෙහිව භාවිතා නොකිරීමයි, යම් හෙයකින් ඔවුන් අපව ඉලක්ක කළහොත් අප එය විනාශ කිරීමට පසුබට වන්නේ නැහැ" යැයි මෙහිදී ඊශ්‍රායල් ආරක්ෂක ඇමතිවරයා විසින් සිරියාවට පැහැදිලි අනතුරු ඇඟවීමක් නිකුත් කළා.

සිරියාවේ අභයන්තර ගැටුම් වලට අතපෙවීමට තම රටට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් යම් හෙයකින් සිරියාවට අති නවීන අවි ආයුධ සැපයිමට ඉරානය කටයුතු කළහොත් එය තම රට ඉලක්ක කර ගනිමින් සිදුකරන ක්‍රියාවක් ලෙස සලකන බැවින් ඒ ගැන ඔහු ඉරානයට අනතුරු අඟවා සිටියා.