Thursday, March 28, 2024

General line - 0115112241

වියානි ඇළට පෙරළුණු සැපරියේ සිද්ධිය රංගනයක් (UPDATE)

පාලිත ආරියවංශ/ හේමන්ත කහවලගේ/ දිල්ෂාන් තුෂාර




මහියංගනය වියානි ඇලට පෙරළුණු සුඛෝපබෝගී ජීප් රථයේ හිමිකරු වන උපකාරක පන්ති ගුරුවරයා පොලීසියට පාපොච්චාරණයක් සිදු කර තිබෙනවා.

මහියංගනය පොලීසිය වෙත ඊයේ (28) පැමිණ භාර වුණු ඔහුගෙන් පොලීසිය පැය 09.00කට අධික කාලයක් ප‍්‍රශ්ණ කළා.

පසුව මෙම උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගැනුණේ පොලීසිය නොමග යැවීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

මෙම ප‍්‍රශ්ණ කිරීම්වලදී උපකාරක පන්ති ගුරුවරයා පොලීසියට පවසා තිබුණේ තමන්ට නින්දයාම නිසා රථය ඇළට පෙරලූන බවයි.

ඉන්පසු ගොඩට පැමිණි තමා ගේ සිහිය විකල් වු අතර ටික දුරක් පාගමනින් ගොස් පසුව තී‍්‍රරෝද රථයකට නැග මොණරාගල ලැගුම්හලක් වෙත පැමිණි බවද ඔහු පොලීසියට සඳහන් කර තිබෙනවා. දිනකට පසු පියවි සිහිය ලැබීමෙන් අනතුරුව තමන් මහියංගනය පොලිසියට පැමිණි බවයි උපකාරක පන්ති ගුරුවරයා පොලීසියට පවසා තිබුණේ.

කෙසේ වෙතත් වියානි ඇළට පෙරළුණු මෙම සුඛෝපභෝගී මෝටර් රථයේ සිටි උපකාරක පන්ති ගුරුවරයා සොයා ඔළුවිල් කදවුරේ කිමිදුම් කරුවන් දින එකහමාරක පමණ කාලයක් මෙහෙයුමක් ද දියත් කළා. ඒ මහවැලි ඇළ මාර්ගයේ ජල මට්ටමද අඩු කරමින්. 

මහජන මුදල් සහ වටිනා ජල සම්පත අපතේ යැවීම සම්බන්ධයෙන්ද සැකකාර උපකාරක පන්ති ගුරුවරයාට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහුට එරෙහිව ගත හැකි කි‍්‍රයාමාර්ගයන් පිළිබඳව මහියංගනය මහේස්ත‍්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කිරිමෙන් පසු තීරණයක් ගැනීමට නියමිතයි.
 

---------------------------------

වියානි ඇලේදී අතුරුදන්වූ පුද්ගලයා පොලිසියට එයි (UPDATE)

(28-04-2018 13:31)

 

ඉකුත්දා මහියංගණය වියානි ඇළට පෙරළුණු ජීප් රථයේ සිට අතුරුදන්ව සිටි පුද්ගලයා අද පෙරවරුවේ මහියංගණය පොලීසිය වෙත පැමිණියා. ප‍්‍රභාත් විතානගේ නමැති උපකාරක පංති ගුරුවරයෙකු වන එම පුද්ගලයා මහියංගණය පොලීසියට ප‍්‍රකාශයක් ලබාදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

---------------------------------------------

වියානි ඇළ ගැන ජනපතිගේ අවධානය යොමු වෙයි

27-04-2018 09:38

පසුගිය කාලසීමාව තුළ සිදුවූ අනතුරු සැලකිල්ලට ගනිමින් වියානි ඇළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව වියානි ඇළට වහාම ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.
 
ඒ සඳහා වැය වෙතැයි අපේක්‍ෂිත රුපියල් මිලියන 26ක මුදල කඩිනමින් නිදහස් කිරීමට ද ජනාධිපතිතුමා තීරණය කර ඇති බව සදහන්. 
 
වියානි ඇලේ ආරක්‍ෂිත වැටක් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලසීමාව තුළ අනතුරු කිහිපයක් සිදු වුණා.
 
ඊට ආසන්නතම හේතුව වාර්තා වූයේ ඊයේ (26) අලුයම උපකාර පන්ති ගුරුවරයෙකු පැද වූ සුඛෝපභෝගී ජිප් රථයක් වියානි ඇළට පෙරලීමත් සමගයි. එම මෝටර් රථයේ සිටි උපකාරක පන්ති ගුරුවරයා සොයා අද (27) දිනයේ දී මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පැවසුවා. 

-------------------------------

ඇළට වැටුණු සැප රියේ ගමන් කළ අය දියේ ගිලුනා දැයි සැක (PHOTOS) (UPDATE)

(26-04-2018 14:25)

 

බදුල්ල - මහියංගනය  මාර්ගයේ  වියානි ඇළ මාර්ගයට සමාන්තරව දිවෙන කොටසේ මාපාකඩ 8 කනුවේදි අද (26) අලුයම 4.30 පමණ සුඛෝපබෝගී  ජීප් රථයක්  වියනා ඇලට වැටී තිබුනා.

එම රථයේ හිමිකරු කතරගම යන බව පවසා අලුයම 2.00 ට පමණ තනියම නිවසින් පිටත්ව ගොස් ඇති බවත් විමර්ශන වලදී අනාවරය වු බවයි පොලිසිය සදහන් කරන්නේ.

එහි ගමන් ගත් අය දියේ ගිලී ඇත්දැයි වන සැකය මත මහවැලි ඇල මාර්ගය හා දියඹානා ජලාශය ආශ්‍රිතව  ‍සෝදිසි මෙහයුමක් ආරම්භ කර තිබෙනවා.

ජීප්රථය දියට වැටුනු බවට සැකකරන ස්ථානායේ සිට කිලෝමීටර් භාගයක් පමණ දුරට රථය ගසාගෙන ගොස් 17 කනුව හන්දිය අසල පාළමට නුදුරින් මහවැලි ඇලේදී අදාළ රථය සොයා ගැනුණා.

අලුයම 4.30 පමණ ඒ අසළින් ගමන් කළ කිරි බවසුර් රියදුරෙක් විසින් මෙම අනතුර දැක පිරිස දැනුවත් කර ඇති අතර ඒ අනුව පොලිසියට දන්වා තිබෙනවා. 

 

---------------------------

පොළොන්නරුවෙන්  පැමිණ වියානි ඇලට වැටුණු සුපිරි රථය කාගේද? (PHOTO)

(26-04-2018 08:15)

 

මහියංගන වියානි ඇලට පැජරෝ රථයක් අද (26) අලුයම් කාලයේ වැටි තිබෙනවා .

එහි ගමන්ගත් කෙනෙකු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

ප්‍රබල දේශපාලඥයෙකුගේ සහායකයෙක් මෙය භාවිතා කර ඇති බවට සැක කරන බවයි ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ. අදාළ වාහනය පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවයි මහියංගන පොලීසිය සඳහන් කරන්නේ. කෙසේ වෙතත් රථයෙන් පැමිණි පුද්ගලයා අතුරුදන්ව ඇති බවද  පොලීසිය සඳහන් කළා.