Friday, March 29, 2024

General line - 0115112241

කටුනායකට පැමිණි ගුවන් යානය අකුණු සැරට මත්තල නවතී - වතු නිවාස පෙළක හදිසි කඩා වැටීමක් - කාලගුණය අදත් අයහපත්




දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි.

කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා (ගිගුරුම් සහිත වැසි ඇති වන විට) ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා.

එමෙන්ම ඊයේ රාත්‍රියේ ඇද හැලුනු අධික වර්ෂාව සහ අකුණු හේතුවෙන් කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩබෑමට පැමිණි ඕමාන ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපල වෙත යොමුකර තිබෙනවා.

ඊයේ රාත්‍රි 7.55 ට පමණ මෙම යානය කටුනායකට ගොඩබැස්සවීමට නියමිතව තිබුණත් අයහපත් කාලගුණය හේතුවෙන් රාත්‍රී 8.24 ට පමණ මත්තල ගුවන් තොටුපලට ගොඩබස්සවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම යානය බෝයිං - 737 වර්ගයේ ගුවන් යානයක් වන අතර , එහි මගීන් 86 ක් සහ කාර්යය මණ්ඩලය 15 ක් සිටියා.

මේ අතර හැටන් - දික්ඔය - දරවල ඉහළ කොටසේ වතු නිවාස පෙළක හදිසියේ කඩා වැටීමක් සිදුව තිබෙනවා.

මෙම වතු නිවාස පේළියේ පවුල් 32කට අයත් පුද්ගලයින් 100ක් පමණ ජීවත් වෙන අතර නිවස දෙකක සිදු වූ හදිසි කඩා වැටීමත් සමග සෙසු නිවාසවලින්ද නිවැසියන් ඉවත් වී තිබෙනවා.

අද (26) උදෑසන 5.00 ට පමණ මෙම තත්ත්වය හටගත් බවයි නිවාස හිමියන් කිහිපදෙනෙකු සඳහන් කළේ.