Tuesday, April 23, 2024

General line - 0115112241

කිඹුලෙක් එල්ලා මස් කරද්දී අල්ලයි - ඔත්තුව ලැබුණේ මෙහෙමයි

දිලීප් නිශ්ශංක - බළපිටිය




ඌරගහ පහලවෙල ප්‍රදේශයේදී අඩි 10ක් පමණ දිග ගැට කිඹුලෙකු එල්ලා මස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඌරගහ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු චෝදනාවට වරද පිළි ගැනිම නිසා එක් අයෙකුට රුපියල් පනස්දහස බැගින් රුපියල් ලක්ෂයක දඩ නියම කර තිබෙනවා. 

එසේ දඩ නියම වූයේ ඌරගහ උලුපට්ටලේවත්ත පහලවෙල පදිංචි හේරත් මුදියන්සේලාගේ ශාන්ත සහ හේරත් මුදියන්සේලාගේ දිනේෂ් චතුරංග යන දෙදෙනාටයි.

මෙම සැකකරුවන් දෙදෙනා පහලවෙල ප්‍රදේශයේ මාළු අල්ලමින් සිටියදී කැළැවේ සැගවී සිටි කිඹුලෙකු දැක පහර දී ඝාතනය කොට තිබෙනවා.

පහර දී ඝාතනය කළ කිඹුලා ගසක එල්ලා මස් කරමින් සිටින බවට ඔත්තුකරුවෙකුගෙන් පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමේදී කිඹුල් මස් සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කියා සිටියා.

ඔත්තුව ලබා දුන් පුද්ගලයා ද කිඹුල් මස් ඉල්ලා ඇති අතර එහිදි කිඹුල් මස් නොලැබුණු නිසා පොලිසියට ඔත්තුව ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.