Thursday, March 28, 2024

General line - 0115112241

මිලියන 200 ක් "ෆේස්බුක්" තනිකඩයින්ට සුභ ආරංචියක් : Whats App හා Instagram සේවාවන් අළුත් වෙයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ




ලොව ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාගමේ නවතම සේවාව ලෙස "මංගල යෝජනා සේවාවක්" අරඹන බවට එහි ප්‍රධානි මාර්ක් සකර්බර්ග් ඊයේ (01) නිවේදනය කළා. 

වාර්ෂික F8 සම්මන්ත්‍රණයට එක් වෙමින් මාර්ක් සකර්බර්ග් කියා සිටියේ ෆේස්බුක් හරහා ආරම්භ කිරීමට යන මෙම නවතම "මංගල යෝජනා සේවාව" හරහා ලොව වටා සිටින පුද්ගලයින්ට එක්වීමේ අවස්තාව හිමිවන බවයි.

සකර්බර්ග් පවසන්නේ දැනට ෆේස්බුක් භාවිත කරන පුද්ගලයින් ගෙන් මිලියන 200 ක පිරිසක් තමන් "තනිකඩයින්" ලෙස සිය ගිණුමේ හදුන්වා ඇති බවයි. එම තත්ත්වය මත මෙම මංගල යෝජනා සේවාවෙන් වැඩි ප්‍රයෝජනයක් ගැනීමට හැකිවන බවයි ඔහු කියා සිටියේ.

ෆෙස්බුක් සමාගමේ මෙම ප්‍රකාශයත් සමග අනෙක් මංගල යෝජනා සේවාවන් සපයන ආයතන වල කොටස් වෙළදපල අගය පවා පහත වැටුනු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඊයේ පැවති  F8  සම්මන්ත්‍රණයේදී එළිදැක්වූ ප්‍රොටෝටයිප් ෆේස්බුක් මෘදුකාංගයේ ඉහල දකුණු කෙළවරේ "හදවත" හැඩයට සමාන අයිකොනයක් හදුනවා දී තිබුනා. මංගල යෝජනා සේවයට එක් වීමට අවශ්‍ය ගිණුම් හිමියන්ට ඒ මත ක්ලික් කිරීමෙන් තම ගිණුමේ තොරතුරැ ෆේස්බුක් "මංගල යෝජනා සේවාව" සමග සම්බන්ධ කරලීමේ පහසුකම පවතිනවා.

එමෙන්ම මෙම මංගල සේවා පහසුකම සැපයීමේදී එම සේවාව හා සම්බන්ධ වන අයගේ තොරතුරුවල රහස්‍යභාවය සුරැකීමේ ක්‍රමවේදයක්ද සහිතව හඳුන්වා දෙන බව පැවසූ ෆේස්බුක් හිමිකරු ඉදිරි මාස කිහිපය තුලදී මෙම නව සේවාව ඉදිරි කටයුතු හදුන්වා දීමට අවශ්‍ය පියවර ගන්නා බව පවසා සිටියා.

මේ අතර ඉන්ස්ටග්‍රෑම් (Instagram) සමාජ ජාලය හරහා එය පරිශීලනය කරන්නන්ට වීඩියෝ කෝල් සේවා ලබා ගැනීමේ පහසුකම ලබා දෙන බවට ඊයේ පැවති සම්මන්ත්‍රනයේදී මාර්ක් සකර්බර්ග් කියා සිටියා. 

මිට අමතරව වට්ස්ඇප් (WhatsApp) සේවාව හරහා කණ්ඩායම් ලෙස වීඩියෝ කෝල් සේවාවන් ලබාගැනීමේ පහසුකමද ඉදිරියේදී ඇති කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.