Tuesday, April 23, 2024

General line - 0115112241

දකුණු ආසියානු මළල කී‍්‍රඩා උළෙලේදී ශි‍්‍ර ලංකාවට රන් පදක්කම් 12ක් (PHOTOS) (UPDATE)

කසුන් කැලුම්




තුන්වන දකුණු ආසියානු කණිෂ්ඨ මළල කි‍්‍රඩා ශූරතා තරගාවලියේදි ශි‍්‍ර ලංකාවට අද (06) තවත් රන් පදක්කම් 07ක් හිමිවුණා. ඒ අනුව මේ දක්වා ශි‍්‍ර ලංකාව දිනා ගෙන සිටින රන් පදක්කම් සංඛ්‍යාව 12ක්. වලල ඒ රත්නායක විදුහලේ දිල්ෂි කුමාරසිංහ ඒ, මීටර් 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කම අද ශී‍්‍ර ලංකාවට දිනා දුන්නා. විනාඩි 02 යි තත්පර 07 යි දශම 7 යි 3ක් වූ තරග නිමි කාලය නව තරග වාර්තාවක් ලෙසද සටහන් වුණා. මෙම දස්කමත් සමග දිල්ෂි කුමාරසිංහ ජපානයේ පැවැත්වෙන කණිෂ්ඨ ලෝක ශූරතා මළල කි‍්‍රඩා තරගාවලියටද සුදුසුකම් ලබා ගත්තා. ඇය ඊයේ පැවැති මීටර් 400 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමද ශී‍්‍ර ලංකාවට දිනා දුන්නා. 

වලල ඒ රත්නායක විද්‍යාලයේ සඳරුවන් කරුණාරත්න මීටර් 800 බාලක ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තා. මීටර් 400 බාලක කඩුළු මතින් දිවිමේ තරගයේ රන් පදක්කම කුරුණෑගල මලියදේව විද්‍යාලයේ එම් පී පී එල් කොඩිකාර දිනා ගත්තේ නව තරග වාර්තාවක් බිහිකරමින්. ඒ තත්පර 52 යි දශම 5යි 6කින් තරගය නිමා කරමින්. මීටර් 200 බාලක, බාලිකා ඉසව් දෙකේම රන් පදක්කම් අද ශි‍්‍ර ලංකාවට හිමිවුණා. අකුරම්බොඩ වීරකැප්පෙටිපොළ ජාතික පාසලේ අරුණ දර්ශන බාලක රන් පදක්කමේ හිමිකරුවායි. ඔහු ඊයේ දිනයේදී මීටර් 400 බාලක ඉසව්වේ රන් පදක්කමද දිනා ගත්තා. 

මීටර් 200 බාලිකා ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ අමාෂා ද සිල්වායි. එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කමද ශි‍්‍ර ලංකාවට හිමිවුණා. අමාෂා ද සිල්වා කී‍්‍රඩා උළෙලේදී දිනූ දෙවන පදක්කමද මෙය වනවා. මීටර් 400 x4 බාලක බාලිකා ඉසව් දෙකෙන්ම අද පස්වරුවේ රන් පදක්කම් හිමිවූ අතර තරග නිමි කාලය නව තරගාවලි වාර්තාවක්ද වුණා. තුන්වන දකුණු ආසියානු කණිෂ්ඨ මළල කි‍්‍රඩා ශූරතා තරගාවලියේ අවසන් දිනය අදයි.


 

 

....................................................................................................................................................

රන් පදක්කම් 5ක් දිනමින් ශ්‍රී ලංකා පොඩ්ඩන් පළමු දිනයේම වැඩ පෙන්වයි

(05-05-2018 19:41)

03 වන දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක‍්‍රීඩා ශූරතා තරගාවලියේ අද (05) පස්වරුවේ පැවති තරග ඉසව්වලින් රන් පදක්කම් 05ක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුණා. මෙහිදී ශ‍්‍රී ලංකික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නව තරග වාර්තා කිහිපයක්ම බිහි කිරීම විශේෂත්වයක්. උස පැනීමේ බාලක ඉසව්වට එක් වූ ගාල්ල මහින්ද විද්‍යාලයේ තරිදු සදරුවන් ශ‍්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දුන්නා. මීටර් සියය බාලිකා ධාවන ඉසව්වට එක්වූ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ අමාෂා ද සිල්වා එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ නව තරග වාර්තාවක් ද සමගින්. 

වළල ඒ රත්නායක විදුහලේ දිලීෂා කුමාරසිංහ මීටර් 400 බාලිකා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා. ඇය දැක්වූ දක්ෂතාව නව තරග වාර්තාවක් ලෙසද සටහන් වුණා. මීටර් 400 බාලක ඉසව්වට එක් වූ අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ ජාතික පාසලේ අරුණ දර්ශන එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ නව තරග වාර්තාවක් සමගින්. පස්වරුවේ පැවති මීටර් හාරසියය හතර බාලිකා සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම ද ශ‍්‍රී ලංකාව දිනා ගත්තා. 

ඒ අනුව රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 11ක් සමගින් ශ‍්‍රී ලංකාව පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා. එම සටහනේ පෙරමුණ හිමිව ඇත්තේ රන් පදක්කම් 11ක් දිනූ ඉන්දියාවටයි. මෙම තරගාවලිය කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.