Thursday, April 25, 2024

General line - 0115112241

පාකිස්තානයේ අමාත්‍යවරයෙකුට වෙඩි ප‍්‍රහාරයක්

පවිත‍්‍රා මධුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පකිස්තානයේ  අභ්‍යන්තර කටයුතු අමාත්‍ය හසන් ඉක්බාල් ඉලක්ක කර වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ එරට පන්ජාබ් නගරයේදී අමාත්‍යවරයා මෙලෙස වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇති බවයි. දේශපාලන රැළියකට සහභාගී වී යළි පැමිණෙමින් සිටියදී අමාත්‍යවරයා මෙලෙස ප‍්‍රහාරයට ලක්ව තිබුණා. ප‍්‍රහාරයෙන් අමාත්‍යවරයාගේ අතකට තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ. 

ප‍්‍රහාරය එල්ල වූ සැනින් අමාත්‍යවරයා රෝහල්ගත කර ඇති අතර තුවක්කුකරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. සැකකරු 21 හැවිරිදි පුද්ගලයෙක්. ප‍්‍රහාරයට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්ණ සිදු කෙරෙන බවයි එරට පොලීසිය පවසන්නේ. 

අමාත්‍ය හසන් ඉක්බාල් සැලකෙන්නේ පාකිස්තානයේ පාලක මුස්ලිම් ලීගයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙසයි. මෙම සිද්ධියත් සමග රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප‍්‍රශ්ණකාරී තත්ත්වයක් ගොඩනැගෙන බවට එරට විපක්ෂය චෝදනා කලා. කෙසේ වෙතත් මෙම ප‍්‍රහාරය එල්ල වුයේ පාකිස්තානයේ මීළග මහ මැතිවරණය එලඹෙන ජූලි මස 15වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති පසුබිමක් තුළයි.