Saturday, April 20, 2024

General line - 0115112241

පුටින් අද දිවුරුම් දෙයි : අමෙරිකාව අත්ලාන්තික් සාගරයට යුධ නැව් පිටත් කර හරියි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පසුගියදා පැවති ජනාධිපතිවරණය ජය ගනු ලැබූ රුසියානු ජනාධිපති වැලැඩිමීර් පුටින් අද (07) සිවුවැනි වරටත් සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. 1999 වසරේදී හිටපු රුසියානු ජනාධිපති බොරිස් යෙල්ස්ටින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග වැඩබලන ජනාධිපතිධුරයට පත්වූ පුටින්, 2000 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයේ ජය ගැනීමෙන් අනතුරුව නිත්‍ය ජනාධිපති ලෙස මැයි මස 07 වනදා දිවුරුම් දෙනු ලැබුවා.

ඉන් පසුව පැවති 2004 වසරේදී පැවති ජනාධිපතිවරණය දෙවන වතාවටත් ජය ගනු ලැබූ  වැලැඩිමීර් පුටින්, 2008 සිට 2012 වසර දක්වා කාලයේදී රුසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා. පසුව 2012 වසරේ පැවති ජනාධිපතිවරණයට තරග කල පුටින් එය ජයග්‍රහණය කල අතර ඉන් පසුව මේ දක්වා එරට පාලනය කරමින් සිටිනවා.

සිවුවැනි වරටත් එරට ජනාධිපතිධුරයට පත්වීමත් සමග පුටින්ගේ පාලන තන්ත්‍රයට හා පැවති ජනාධිපතිවරණයේ දී අක්‍රමිකතා සිදුවූ බව කියමින් මේ වන විටත් එරට තුල ජනතා විරෝධයන් ඇතිව තිබෙනවා. එම උද්ඝෝෂණයන් සහ රැස්වීම සංවිධානය කල එරට විපක්ෂයේ ප්‍රධානියා වන ඇලෙක්සි නවලානි ඊයේ (06) අත්අඩංගුවට ගැනීමෙන් පසුව මුදාහැරීමට එරට ආරක්ෂක බලධාරීන් කටයුතු කරනු ලැබුවා. ඒ පුටින් සිවුවෙනි වරටත් ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට පැය කිහිපයක් තිබියදී වීමද විශේෂත්වයක්.

මේ අතර රුසියානු ජනාධිපතිවරයා සිය සිව්වෙනි වරට ධුරයේ දිවුරුම් දීමට දින 02 ක් තිබියදී අමෙරිකානු නාවික හමුදාව විසින් සිය දෙවැනි නාවික ප්‍රහාර බලඝණය යලි පිහිටුවීමට පියවර ගනු ලැබුවා. 2011 වසරේදී විසුරුවා හරිනු ලැබූ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ප්‍රහාරක නෞකාව ඇතුළු දෙවන බලඝණය වසර 07 කට පසුව යලි පිහිටුවීමට පියවර ගනු ලැබුවේ රුසියාවෙන් එල්ල විය හැකි හදිසි තත්ත්වයකට මුහුණ දීමට බවයි අමෙරිකානු බළධාරීන් පවසන්නේ. 

ඒ අනුව යලිත් වරක් සක්‍රිය කල දෙවන අමෙරිකානු නාවික ප්‍රහාරක බලඝණය අමෙරිකාවේ නැගෙනහිර වෙරළ කළාපය සහ උතුරු අත්ලාන්තික් සාගර කළාපයේ ආරක්ෂාව භාරව කටයුතු කිරීමට නියමිතයි. ඊට අමතරව නේටෝ මෙහෙයුම් සඳහාද අමතර පහසුකම් සැපයීමේ වගකීම මෙම බලඝණය වෙත පැවරී ඇති බවයි නාවික මෙහෙයුම් අණදෙන නිළධාරි අද්මිරාල් ජෝන් රිචර්ඩ්සන් සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර විශ්ලේෂකයින් සඳහන් කරන්නේ රුසියානු ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමත් අමෙරිකාව විසින් සිය යුධ ශක්තිය විදහා දැක්වීමත් ඉදිරියේදී ඇතිවිය හැකි යම් අසුභ සිද්ධීන් දාමයක පෙරනිමිත්තක් බවයි.