Friday, April 19, 2024

General line - 0115112241

ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් වෙයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




ඔබාමා පාලන සමයේදී ඉරානය සමග ඇතිකර ගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් කර ගන්නා බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. 

ඉරානය සමග පැවති ගිවිසුම අහෝසි කරමින් ට්‍රම්ප් කියා සිටියේ එම ගිවිසුම " දිරාපත්වූ" දෙයක් බවත් පුරවැසියෙක් ලෙස තමන් අපහසුවෙන් පෙලෙන බවයි.

සිය යුරෝපා මිත්‍ර රටවල උපදෙස්ද නොසලකා හරිමින් 2015 වසරේදී ඇතිකර ගනු ලැබූ න්‍යෂ්ටික ගිවිසුම අහෝසි කිරීමත් සමග අමෙරිකාව විසින් යලිත් ඉරානයට සම්බාධක පැනවීමටද සුදානම් බවයි ජනපති ට්‍රම්ප් කියා සිටියේ.

අමෙරිකාව සිය තීරණය දැනුම් දීමත් සමග ඉරාන ජනාධිපති හසාන් රොහානි කියා සිටියේ අමෙරිකාව සිය පොරොන්දු ඉටු නොකරන බවයි. එමෙන්ම න්‍යෂ්ටික බලශක්ති හා ආයුධ වලින් යලි පොහොසත් වීම ඇරබිය හැකි බවයි.

අවශ්‍ය ඕනෑම මොහොතක සීමාව ඉක්මවා යලි න්‍යෂ්ටික වැඩසටහන් ක්‍රියා කිරීමට සුදානම් වන ලෙස තමන් ඉරාන පරමාණුක බලශක්ති සංවිධානයට නියෝග කර ඇති බව පැවසූ ඉරාන ජනාධිපතිවරයා, කෙසේ වෙතත් තම ක්‍රියාකාරකම් ඇරඹීමට පෙර න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් කල අනෙක් රටවල් සමග සාකච්ජා කිරීම වෙනුවෙන් තවත් සති කිහිපයක් බලා සිටීමට තමන් සුදානම් බවයි.

යම් හෙයකින් ගිවිසුමට අනුව අපගේ ක්‍රියාවන් සිදුව ඇති බව සනාථ වුවහොත් අනෙක් සාමාජික රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට සුදානම් බවයි ඉරාන ජනාධිපතිවරයා සදහන් කර සිටියේ.