Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකාවේ වැඩ නිසා ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ඉහළට

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමරිකාව විසින් ඉරානයට එරෙහිව නව සම්බාධක පැනවීම ලෝක වෙළඳපලේ ඉන්ධන මිල සඳහාද ඍජු බලපෑම් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවනවා. ලොව ප‍්‍රධානතම බොරතෙල් සැපයුම්කරුවා වන සවුදි අරාබියත්, නිෂ්පාදකයා වන රුසියාවත් ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ දැමීමට ප‍්‍රයත්න දරමින් සිටියද එම මිල පසුගිය සතිය වනතෙක් සමතුලිතව පැවැති බව විදෙස් වාර්තාවන්හි සඳහන්. නමුත් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වූ අමෙරිකාව එරටට එරෙහිව සම්බාධක පැනවීමත් සමගම ලෝක වෙළඳපලේ තෙල් මිල වාර්තාගත අගයන් දක්වා පැමිණෙමින් ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

ඒ අනුව බ්‍රෙන්ට් තැරැව්කාර වෙළඳපලේ ඊයේ දිනයේදී බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 77යි ශත 16ක් ලෙසයි. ඉකුත් බ‍්‍රහස්පතින්දා බ්‍රෙන්ට් තැරැව්කාර වෙළඳපලේ තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78ක් ලෙස වාර්තාවූ අතර 2014 වසරින් පසුව එම වෙළඳපලේ තෙල් බැරයක මිල ඉහළම අගයට පැමිණි පළමු අවස්ථාව එයයි.

කෙසේ වෙතත් ඉරානයට එරෙහිව අමරිකාව පැනවූ සම්බාධක හමුවේ ඉරානය ලෝක වෙළඳපළට මුදා හරින බොරතෙල් ප‍්‍රමාණය පහළ යනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් අනාවැකි පළ කරනවා. එසේවුවහොත් බ්‍රෙන්ට් තැරැව්කාර වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80ක් දක්වා ඉහළ යනු ඇති බවටයි ඔවුන් අනතුරු අගවන්නේ.