Thursday, April 25, 2024

General line - 0115112241

නව නිදහස් වෙළඳ කලාපයක් - අගමැති කියයි

රවීන්ද්‍ර චන්ද්‍රලාල්




ගාල්ල දිස්ත‍්‍රික්කයේ අක්මීමන, හික්කඩුව, ගෝනපීනුවල සහ හබරාදුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල අලූතින් ඉදිකළ කාර්යාල සංකීර්ණ අද ජනතා අයිතියට පැවරෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. රුපියල් ලක්ෂ 2131ක වියදමකින් මෙම ගොඩනැගිලි ඉදි කෙරුණේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනගේ මෙහෙයවීම යටතේයි.

අග‍්‍රාමාත්‍යවරයා අතින් මීට නොබෝ වේලාවකට පෙර හබරාදුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.   

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උත්සව සභාව අමතමින් කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ නව කර්මාන්ත ඇති කිරීමට ඉඩකඩ නැති බැවින් වැලිගම ආසනයේ චාලිමන්ට් වත්තේ නව වෙළඳ කලාපය මේ වසරේ අරඹන බව පැවසුවා. ඒ සඳහා ඉඩ කඩම් අත්පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි ඔහු පැවසුවේ. එම කටයුතු අවසන් වූ වහාම ආයෝජන මණ්ඩලයට භාර දෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

දකුණට සංවර්ධන ව්‍යාපෘති රැසක් ඇතැයි පැවසූ වික්‍රමසිංහ මහතා අක්කර 400ක සංචාරක කලාපයක් කොග්ගල ආශ්‍රිතව ස්ථාපිත කෙරෙන බව සිහිපත් කළා.