Thursday, April 25, 2024

General line - 0115112241

ඊයේ එල්ල වූ ප්‍රහාර මාලාවෙන් පසු ඉන්දුනීසියාවට අදත් ප්‍රහාරයක් (UPDATE)

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අයි.එස් ප‍්‍රහාරයක් එල්ල වී පැය 24ක් ගතවිමටත් මත්තෙන් ඉන්දුනීසියාවේ සුරාබයා නුවරට අදත් (14) ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වුණා.

අද ඉලක්කය එරට පොලිස් මූලස්ථානයයි.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ පුද්ගලයින් දෙදෙනෙකු රැගත් යතුරු පැදියක් මූලස්ථාන පරිශ‍්‍රයට කඩා වැදී පසුව පුපුරා ගිය බවයි.

ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් තුවාල ලබා තිබෙනවා. කිසිවෙකුත් ජීවිතක්ෂයට පත්ව ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා කළ නොහැකි බවයි පොලීසිය පවසන්නේ.  

කෙසේවෙතත් මෙම ප‍්‍රහාරය වාර්තා වන්නේ සුරාබයා නුවර පිහිටි කි‍්‍රස්තියානි දේවස්ථාන තුනක් ඉලක්ක කර ඊයේ (13) එල්ල වුන ප‍්‍රහාර මාලාවෙන් අනතුරුවයි. එහෙත් මෙම ප‍්‍රහාරය හා ඊයේ එල්ල වුනු ප‍්‍රහාරයන් අතර කිසියම් සම්බන්ධයක් ඇතිද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. 

සිරියාවේ සිට සංක‍්‍රමණය වී සිටින අයි.එස්. සාමාජිකයින් විසින් ඉන්දුනීසියාවට මෙලෙස ප‍්‍රහාර එල්ල කරමින් සිටින බවයි මේවනවිට විශ්වාස කෙරෙන්නේ. ඊයේ ප‍්‍රහාරය එල්ල කර තිබුණේද අයි.එස් සාමාජිකත්වය ලබා සිරියාවේ සිට සංක‍්‍රමණය වූ පිරිසක්.

එම පිරිස අතර එකම පවුලේ මව පියා දියණියන් දෙදෙනා සහ පුතුන් දෙදෙනා වන බවයි ඉන්දුනිසීයානු බලධාරීන් පවසන්නේ.

කෙසේවෙතත් මෙම සිද්ධි මාලාවෙන් පසුවද ප‍්‍රධාන නගරවල ආරක්ෂාව තර කිරීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවටයි බලධාරීන් හට චෝදනා එල්ල වන්නේ.    

(ඊයේ එල්ල වූ ප්‍රහාර මාලාවේ වීඩියෝව පහතින්)

-----------------------------

සුරාබයා නුවර පිපිරීම් මාලාවක් (VIDEO)

(13-05-2018 13:11)

 

ඉන්දුනීසියාවේ සුරාබයා නුවර පිහිටි කි‍්‍රස්තියානි දේවස්ථාන 03ක් ඉලක්ක කර මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ ප‍්‍රහාරවලින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. තුවාල ලැබූ පුද්ගලයින් 35 දෙනෙකු රෝහල් ගත කළ බවයි එරට පොලීසිය පවසන්නේ.

ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් සඳහන් කළා. ප‍්‍රහාරයට ලක්වූ එක් දේවස්ථානයක් ගිනි ගැනීමටද ලක්ව තිබෙනවා. මින් එක් දේවස්ථානයක් තුළට හෝ පිවිසීමට පොලීසියට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ. 

ප‍්‍රහාරයට ලක්වූ එක් දේවස්ථානයක් තුළට සැකකටයුතු කාන්තාවක්, තරුණයෙකු හා දරුවෙකු ඇතලූ වී ඇති අතර පිපිරීම සිදුව තිබෙුණේ ද ඒ සමගයි.  ප‍්‍රහාරය එල්ලවූ තවත් දෙවස්ථානයක් ඉදිරිපිට පුපුරා ගිය යතුරු පැදියක කොටස් දැකගත හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ ආසන්න්යේ පිහිටි තවත් දේවස්ථානයකට ප‍්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු පිළිබඳව ඉන්දුනීසියානු බලධාරීන් මේවනවිට පරීක්ෂණ  සිදු කරමින් සිටිනවා. කෙසේ වෙතත් මෙම ප‍්‍රහාර මාලාවේ වගකීම මෙතෙක් කිසඳු පාර්ශ්වයක් විසින් භාරගෙන නැහැ.