Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දියාවේ ගුවන් පාලමක් කඩා වැටෙයි : 18ක් මරුට (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාවේ, උත්තර් ප්‍රාන්තයේ වරණාසි හි ඉදිකරමින් තිබු ගුවන් පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වනවා. සහන සේවා කණ්ඩායම් සඳහන් කරන්නේ කඩා වැටුණු කොන්ක්‍රීට් තට්ටු වලට යටවූ වාහන වල සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීමට කටයුතු කරන බවයි.

වරණාසි හි ඉදිකරමින් පැවති ගුවන් පාලමේ කොන්ක්‍රීට් කණු දෙකක් කඩා වැටුණු අතර ඒ අවස්ථාවේදී ඉන් පහල ධාවනය වෙමින් තිබු බස් රථ ඇතුළු වාහන කිහිපයක් මතට කොන්ක්‍රීට් තට්ටු කඩා වැටුණු බව ඇසින් දුටුවන් පවසනවා.

සහන සේවා කණ්ඩායම් හා ආරක්ෂක අංශ විසින් දියත් කර ඇති ගලවා ගැනීමේ මෙහෙයුම් වලින් දැනට පුද්ගලයින් තිදෙනෙක් සුන්බුන් වලින් ඉවතට ගැනීමට හැකිවූ බවත් තවත් විශාල පිරිසක් සිරවී සිටින බවට විශ්වාස කරනවා. උත්තර් ප්‍රාන්ත මහ ඇමතිවරයා සදහන් කර ඇත්තේ සුන්බුන් වලට යටවී සිටින බහුතරයක් දෙනා මෙම ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු වල නිරතව සිටි කම්කරුවන් බවයි.

ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා දොඹකර 08 ක් සහ ගෑස් කටර් දේවල් යොදා ගන්නා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇතිවී ඇති තත්ත්වය සලකා බලා අවශ්‍ය සියලුම පහසුකම් සපයා දෙන මෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී උත්තර් ප්‍රාන්ත මහ ඇමතිවරයාට නියෝග කර තිබෙනවා. 

මෙම සිද්ධිය පිලිබදව පැය 48ක් තුල වාර්තාවක් ලබා දෙන මෙන් මහ ඇමතිවරයා නියෝග කර තිබෙනවා.