Saturday, April 20, 2024

General line - 0115112241

රටපුරා වෛද්‍යවරු සහ වයඹ විකිරණවේදීහු අද වැඩ වරති

ඩිල්ෂාන් මඩවල / සජිත් තිලකරත්න




අද (17) පෙරවරු 08 සිට රට පුරා රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වනවා. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට සහ ඉන්දියාව සමග අත්සන් තැබීමට යන එට්කා ගිවිසුමට විරෝධය පළ කිරීම සඳහායි මෙම වැඩවර්ජනය කැඳවා ඇත්තේ. මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ මෙම ගිවිසුම තුලින් රටේ ජනතාවට සිදුවන අගතිය වලක්වා ගැනීමට රජයට බලපෑම් කිරීම මෙම වැඩවර්ජනයේ මුලික අරමුණ බවයි. 

සිය වැඩවර්ජනය සඳහා තවත් ක්ෂේත‍්‍ර ගණනාවක වෘත්තීය සමිතිද මේවනවිට සහය පළ කර ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මෙම වැඩවර්ජනය සඳහා ඉංජිනේරු, වාස්තු, රේගුව, බැංකු සහ දුම්රිය වෘත්තීය සමිති තමන් සමග සාකච්ජා කරමින් සිටින බවත් මෙම ගිවිසුම අකුලා නොගන්නේ නම් ඉදිරියේදී මෙම වෘත්තීය සමිති සමග එක්ව කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

අද සිදු කෙරෙන වෛද්‍ය වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වල ප‍්‍රතිකාර සේවා අඩාල වනු ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කෙසේවෙතත් අත්‍යාවශ්‍ය සහ හදිසි ප‍්‍රතිකාර තවදුරටත් සිදු කරන බවයි ඔවුන් අවධාරණය කළේ. ළමා රෝහල්, මාතෘ රෝහල්, හමුදා රෝහල්, පිළිකා රෝහල සහ වකුගඩු ප‍්‍රතිකාර ඒකකවල ද සේවා සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇති.

මේ අතර වයඹ පළාත් සභාව යටතේ පාලනය වන සියලූ රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ද අද වැඩවර්ජනයක නිරත වනවා. හදිසියේ සිදු කෙරෙන ස්ථාන මාරු සඳහා විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය කැඳවා ඇති බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසන්නේ.  කෙසේවෙතත් වයඹ පළාතේ පිහිටි එහෙත් මධ්‍යම රජයට අයත් රෝහල්වල වැඩවර්ජනය සිදු නොකරන බවද ඔවුන් කියා සිටියා.