Wednesday, April 24, 2024

General line - 0115112241

පොරොන්දු වූ බස් ගාස්තු වැඩිවීම කැබිනට් මණ්ඩලයට

ඩිල්ෂාන් මඩවල / සජිත් තිලකරත්න




පෞද්ගලික බස් වෘත්තීය සමිති සඳහා ඊයේ (16) පොරොන්දු වූ ගාස්තු සංශෝධනය සිදු කිරීමට, පළමුව ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත යුතු බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. ඒ අනුව එම ගාස්තු සංශෝධනය සඳහා වූ යෝජනාව ලබන අගහරුවාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

කැබිනට් මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබා දී තිබුණේ බස් ගාස්තු 6.56% කින් වැඩි කිරීමට පමණයි. අවම ගාස්තුව වැඩි කිරීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණේ නැහැ. ඒ අනුව පෞද්ගලික බස් වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට වැඩවර්ජනයක්ද කැඳවා තිබුණා. කෙසේවෙතත්  අවම ගාස්තුව රුපියල් 12ක් දක්වා සහ සෙසු ගාස්තු 12.5% කින් වැඩි කිරීමට අවසර ලබා දෙන බවට රජය ඊයේ ලබා දුන් පොරොන්දුව හේතුවෙන් එම වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බවයි ඔවුන් කියා සිටියේ. 

බස් ගාස්තු යලි සංශෝධනයක් කරන බවට ඊයේ දැනුම් දුන් බවත් ඒ අනුව අද දිනයේදී සුපුරුදු පරිදි බස් රථ ධාවනයේ යෙදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියා. ලබන අගහරුවාදා සිට නව ගාස්තු ක‍්‍රමය කි‍්‍රයාත්මක කරන තෙක් කැබිනට් මණ්ඩලය දැනට අනුමත කර ඇති 6.56% ක ගාස්තු වැඩිවීම කි‍්‍රයාත්මක කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

කෙසේවෙතත් රජය ලබා දුන් පොරොන්දුවට අනුව ලබන අගහරුවාදා සිට නව ගාස්තු ක‍්‍රමය කි‍්‍රයාත්මක් කරන තෙක් පැරණි ගාස්තු යටතේම බස් ධාවනය කරන බවයි අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය පවසන්නේ.

ඒ අනුව කැබිනට් මණ්ඩලය විසින් දැනට අනුමත කර තිබෙන 6.56% ක ගාස්තු වැඩිවීම කි‍්‍රයාත්මක නොකරන බව ඔවුන් කියා සිටියා. මෙතෙක් කල් පාඩුවට ධාවනය කල බස් රථ ඉදිරි දින 07 ක කාලයත් සුපුරුදු ගාස්තු යටතේම ධාවනය කරන බවත් අනුමැතිය ලැබීමෙන් අනතුරුව එක්වරම ගාස්තු ඉහල දැමීම සිදුකරන බව එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර කියා සිටියේ.

නෙත් නිවුස් ඊයේ කළ ක්ෂේත‍්‍ර චාරිකාවකදී නිරික්ෂණය කළේද බොහෝ පෞද්ගලික බස් රථ පැරණි ගාස්තු යටතේම තවමත් ධාවන කෙරෙන බවයි.