Thursday, April 25, 2024

General line - 0115112241

උඩවලව සහ කලාඔයේ වාන් දොරටු විවෘත කෙරේ

ඩිල්ෂාන් මඩවල /ලහිරු කපුගේ




උඩවලව ජලාශයේ සහ කලාඔයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා. ආශී‍්‍රත ප‍්‍රදේශවල ජිවත්වන්නන් ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. 

උඩවලව ජලාශයේ වාන්දොරටු 05 ක් විවෘත කර තිබෙන බවත් මේ හේතුවෙන් හම්බන්තොට, අම්බලන්තොට, මොණරාගල ප්‍රදේශවල සිටින ජනතාව අවධානයෙන් සිටින මෙන් දැනුම් දෙන බවත් ඊට අමතරව කලාඔය ජලාශයේ වාන්දොරටු 02 ක් විවෘත කර තිබෙන බවත් අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවල ජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මෙහිදී කියා සිටියේ.
 
මේ අතර රට පුරා ප‍්‍රදේශ බොහෝමයකට හා රටවටා බොහෝ මුහුදු ප්‍රදේශවලට  අදත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ අතර වර්ධනය වෙමින් තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා ඇතිවිය හැකි ආපදාවලට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානමින් සිටිනවා. අද සිට දෙසතියක් ඒ සඳහා විශේෂ පෙරහුරුද සිදු කෙරෙනු ඇති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වුවා.