Friday, March 29, 2024

General line - 0115112241

ත්‍රස්තවාදී සංවිධානයක් මෙහෙයවුයේ රාජිතයි - විජිත හේරත් පිළිතුරු දෙයි (AUDIO)

දිනුක් හේවාවිතාරණ




ජනතා විමුක්ති පෙරමුණ මෙරටේ යුක්තිය, සාධාරණත්වය උදෙසා කටයුතු කරන දේශපාලන පක්ෂයක් බවත් මිනීමරු එල්ටිටිඊ සංවිධානය මෙන් රට බෙදන්න, රට විනාශ කිරීමට කටයුතු කරන සංවිධානයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටිනවා.

ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවෙදී අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ජනතා විමුක්ති පෙරමුණ සහ එල්ටිටිඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශය ගැන නෙත් නිවුස් කල විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ "ප්‍රා" සංවිධානය නමින් මෙරට බිහිවූ බිහිසුණු ආයුධ සන්නද්ධ කණ්ඩායමේ නායකත්වය දැරු රාජිත සේනාරත්න වැනි පුද්ගලයෙක් මේ ආකාරයෙන් කතා කිරීම විහිළුවක් බවයි.

ජනතා විමුක්ති පෙරමුණ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස මෙරට ජනතාව අතර දේශපාලනය කරමින් සිටියදී ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී අභූත චෝදනා නගමින් තම පක්ෂය තහනම් කිරීමට කටයුතු කල බවත්, ඉන් නොනැවතුනු තම පක්ෂය ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුනු බවත් එය නතර කිරීමට එවකට පැවති ආණ්ඩුව විසින් විවිධ ආයුධ සන්නද්ධ කණ්ඩායම් හරහා ජනතා විමුක්ති පෙරමුණ අඩපණ කිරීමට උත්සහ කල බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙහිදී කියා සිටියේ.

" යුධමය උපක්‍රම භාවිතා කරමින් ජනතා විමුක්ති පෙරමුණ පාලනය කිරීමට ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී ක්‍රියාත්මක වුනු ආයුධ සන්නද්ධ කණ්ඩායම් වලින් එකක් තමයි ප්‍රා සංවිධානය කියන්නේ. එකේ නායකයා වශයෙන් කටයුතු කලේ රාජිත සේනාරත්නයි. ඔවුන් විසින් මෙරට දහස් ගණනක් තරුණ තරුණියන්ව මෙරටේ තැන් තැන්වල ඝාතනය කරලා දාලා තිබ්බා. ඔවුන්ගේ මෙවැනි ක්‍රියාවන් නිසා රට අවසානයේදී සිවිල් යුද්ධයක් ඇතිවන තැනට තල්ලු උනා. එකේ වගකීමද රාජිත සේනාරත්න දැරිය යුතුයි" යැයිද විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.

රාජිත සේනාරත්න අද මේ සිදුකරන ප්‍රකාශයන්ට කෙදිනක හෝ මේ රටේ ජනතාව දඩුවම් දෙනු ඇතැයි විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියා.