Thursday, March 28, 2024

General line - 0115112241

අනුමැතිය ලැබුණොත් ලංගම ගාස්තුත් වැඩිකෙරේ - දුම්රිය ගාස්තු වැඩි නොකෙරේ

සජිත් තිලකරත්න / ඩිල්ෂාන් මඩවල




පෞද්ගලික බස් හිමියන් සඳහා රජය පොරොන්දු වූ ගාස්තු වැඩි කිරීම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඊට අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් උපදෙස් ලැබුණහොත් සිය ගාස්තුද වැඩි කරන බව ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.  එසේ නොමැතිව ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් තම ආයතනය තනි තීරණයක් නොගන්නා බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ධාවන පී එච් ආර් ඞී චන්ද්‍රසිරි කියාසිටියේ. 

කැබිනට් මණ්ඩලය මුලින් අනුමැතිය ලබා දුන්නේ බස් ගාස්තුව 6.56% කින් වැඩි කිරීමටයි. ඊට අනුව ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් ගාස්තු මේවනවිටත් වැඩි කර තිබෙනවා. කෙසේවෙතත් පෞද්ගලික බස් හිමියන් කළ ඉල්ලීම් සැලකිල්ලට ලෙන රජය ඊයේ (16) පොරොන්දු වුයේ අවම බස් ගාස්තුව රුපියල් 12ක් දක්වා වැඩි කිරීමටත්, සෙසු බස් ගාස්තු 12.5% කින් වැඩි කිරීමටත් අවසර ලබා දීමටයි. මෙම යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා ලබන අගහරුවාදා ඉදිරිපත් කරන බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවා. 

මේ අතර බස් ගාස්තු මෙන්ම ඉදිරියේදී දුම්රිය ගාස්තු ද වැඩි කෙරෙනු ඇත්දැයි බොහෝ දෙනා තුළ මේවනවිට ඇත්තේ කුතුහලයක්. නෙත් නිවුස් ඒ පිළිබඳවද ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.එහිදී ඔහු කියා සිටියේ දුම්රිය ගාස්තු වැඩිවීමක් දැන්ම සිදු නොවන බවයි.

දුම්රිය ගාස්තු වැඩිකිරීමක් සඳහා සලකා බලමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර ප‍්‍රකාශ කළා.