Saturday, April 20, 2024

General line - 0115112241

ළඟම පාසල් රැසක් හොඳම පාසල් වෙයි




අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ සංකල්පයක් අනුව, ක්‍රියාවට නංවන ලද ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර පළාතේ සංවර්ධනය කරන ලද පාසල් 07ක් සිසු අයිතියට පත්කිරීම, පරිපාලන ගොඩනැගිල්ලක්, තෙමහල් කාන්තා නේවාසිකාගාරයක්, සහ දෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීමේ කටයුතු  මැයි මස 18 සහ 19 දිනයන්හි දී සිදුකිරීමට නියමිතයි.

 

ඒ අනුව,

·        ත්‍රි/ ශාන්ත මරියා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල හා ගුරු නිවාසය,

·        ත්‍රි/ශිවානි විද්‍යාලයේ නව දෙමහල් ප්‍රාථමික සම්පත් මධ්‍යස්ථානය,

·        ත්‍රි/ නාලන්දා මහා විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය

අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 18 වැනි සිකුරාදා සිසු අයිතියට පත්කිරීමට නියමිතයි.

·        මඩකලපුව කොඩඩ්මුනෙයි කණිෂ්ඨ විද්‍යාලයේ නව දෙමහල් ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය,  

·        කරුවාපන්කේනි විපුලානන්ද විද්‍යාලයේ විද්‍යාගාර ගොඩනැගිල්ල,

·        මඩකලපුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නව තෙමහල් කාන්තා නේවාසිකාගාරය සහ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල,

·        මනිපුරම් විග්නේෂ්වර විද්‍යාලයේ නව දෙමහල් ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය  සිසු අයිතියට පත්කිරීම  

·        මඩකලපුව ගුරු විද්‍යාලයේ පරිපාලන ඒකකය සහිත නව තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම

·        මඩකලපුව සිවනාථ විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම

අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මැයි 19 වැනි දින සිදුකෙරෙනවා.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර පළාතේ පාසල්, ගුරු විද්‍යාල සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ගොඩනැගිලි පහසුකම් ලබාදීම වෙනුවෙන් වෙන් කර ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 8000ක් වනවා.

නැගෙනහිර පළාතේ මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පළාත් පාසල්, ජාතික පාසල්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල මේ යටතේ සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ වනවිටත් මෙම පළාතේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති 1129ක් අතුරෙන් 692ක වැඩකටයුතු අවසන් කොට තිබෙනවා. සංවර්ධන කටයුතු වෙනුවෙන් ගතවූ වසර 3 ඇතුළත (2016, 2017,2018) රුපියල් මිලියන 2069ක් නිකුත් කර අවසන්.

වඩාත් ගුණාත්මක අධ්‍යාපන අවස්ථා රටේ සියලු දරුවන්ට ලබාදීම අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ සංකල්පයක් අනුව 2016 වසරේ මැයි මස ආරම්භ කළ ළඟම පාසල - හොඳම පාසල ජාතික ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. මෙම ව්‍යාපෘතියේ කාල සීමාව වසර 4 ක්. මේ යටතේ ලංකාවේ පාසල් 9,345ක ප්‍රධාන ව්‍යාපෘති 18,654ක් හරහා සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා.

ඒ අනුව, 2017 දෙසැම්බර් අවසන් වනවිට දිවයින පුරා පාසල්, ගුරු විද්‍යාල සහ ගුරු විද්‍යාපීඨවල හඳුනාගත් සංවර්ධන අවශ්‍යතා සහිත ව්‍යාපෘති 13,082ක ආරම්භ කර ඒ අතරින් ව්‍යාපෘති 7,296ක සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන්ම අවසන්කොට තිබෙනවා. මෙම ජාතික වැඩසටහන වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ආයෝජනය කර ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 64 ක් වන අතර එයින් මේ වනවිට සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 25ක් වැය කර තිබෙනවා.