Saturday, April 20, 2024

General line - 0115112241

ආපදා මරණ 6ක් : පුද්ගලයින් 20,000 ක් පිඩාවට (VIDEO) (UPDATE)

දිනුක් හේවාවිතාරණ / සුපෙම් මානගේ/කසුන් කැළුම්/ දිල්ශාන් තුෂාර




හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 06 ක් සිදුව ඇති බවත් පුද්ගලයින් 20,000 කට ආසන්න පිරිසක් මේවන විට පිඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. කෙසේ වුවත් පොලිසිය සදහන් කරන්නේ ආපදා තත්වයන් ගෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 07ක් බවයි.

ආපදා තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත කදවුරු 30 ක මේ වන විට පුද්ගලයින් 1024 ක් රඳවා සිටිනවා.

කැළණි ගඟේ ජල මට්ටම මේ වන විට හංවැල්ල ප්‍රදේශයේ සිට ඉහල ගොස් ඇති නිසා කොළඹ.කැලණිය, බියගම,කඩුවෙල,හංවැල්ල, දොම්පේ, රුවන්වැල්ල, දෙහිඕවිට සහ දැරණියගල ප්‍රදේශවල සිටින ජනතාව අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

එමෙන්ම කළු ගඟේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් කළුතර, දොඩන්ගොඩ, මිල්ලනිය, මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්දනුවර, කිරිඇල්ල, කුරුවිට, ඇලපාත සහ රත්නපුර ප්‍රදේශයේ ජනතාව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් අවධානයෙන් පසුවන්නැයි දැනුම් දෙනවා.

ගිංගඟ පිටාර ගැලීම නිසා බද්දේගම ප්‍රදේශයෙන්ද නිල්වලා ගඟ පිටබැද්දර ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා ඊට පහල ප්‍රදේශවල ජනතාව ඉතා අවධානයෙන් පසුවන්න.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කරනු ලබන හදිසි දැනුම් දීමක් මත හදිසි ආපදාවන්ට මුහුණ දී සිටින ජනතාවට ඉවත්ව යාම සදහා සුදානමින් සිටින්නැයි දැනුම් දෙන අතර ඔවුන්ගේ අත්‍යාවශය ලිපි ලේඛන, ඖෂධ සහ අනෙක් දේවල් සුදානමින් තබාගන්නා ලෙසද දැනුම් දෙනවා.

එමෙන්ම නායයාම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය දැනුම් දුන් අනතුරු ඇඟවීම තවමත් ක්‍රියාත්මක බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කරනවා.

දිස්ත්‍රික් 13 කට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මේවන විට නිවාස හා ව්‍යාපාරික ස්ථාන 633කට අර්ධ හානි සිදුව ඇති අතර නිවාස 03 කට පුර්ණ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

..................................................................................................................................................................

හදිසි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට දැඩි විමසිල්ලෙන් සිටින්නැයි ජනතාවට උපදෙස් නිකුත් කරයි

(21-05-2018 11:42)

දිවයිනට ඇද හැලෙන වර්ෂාපතනයේ අඩුවීමක් පසුගිය පැය කිහිපය තුළ වාර්තා වී ඇතත් ප්‍රධාන ගංගාවල පහළ ධාරා ප්‍රදේශයන්හී ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇති බව වාර්තා වෙනවා.

නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ, කැළණි ගඟ, අත්තනගලු ඔය, මහවැලි ගඟ, හා මා ඔයෙහි ජල මට්ටම මේ අනුව තවදුරටත් ඉහළ යමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් ගංවතුර තර්ජනයට ලක්විය හැකි ප්‍රදේශ පිළිබඳවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දීමක් සිදු කර තිබෙනවා.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ දිස්ති‍්‍රක්ක 05ක් තවදුරටත් නායයාම් අවදානමේ පසුවන බවයි. රත්නපුර, කළුතර, කෑගල්ල, නුවරඑළිය හා මහනුවර එම දිස්ති‍්‍රක්ක වනවා.

රත්නපුර දිස්ති‍්‍රක්කයේ අයගම, කොලොන්න, නිවිතිගල, කලවාන, කිරිඇල්ල, පැල්මඩුල්ල සහ කහවත්ත යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අවදානම් සහිත ප‍්‍රදේශයි.

කළුතර දිස්ති‍්‍රක්කයේ අගලවත්ත, බුලත්සිංහල, වළල්ලාවිට සහ ඉංගිරිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවද නායයාම් පිළිබඳ අවදානයෙන් පසුවිය යුතු වනවා.

කෑලග්ග, ගලිගමුව, මාවනැල්ල, යටියන්තොට සහ අරණායක යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කෑගල්ල දිස්ති‍්‍රක්කයේ අවදානම් සහිත ප‍්‍රදේශයි.

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ නුවරඑළිය හා කොත්මලේ මෙන්ම පස්බාගේ කෝරළයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවද නායයාම් පිළිබඳ අවදානයෙන් පසුවිය යුතු වනවා.

(ගංවතුර තර්ජනවලට ලක්විය හැකි ප්‍රදේශ පහතින් දැක්වෙයි)

------------------------------

වැඩිම වර්ෂාවක් ඇති ප්‍රදේශ මෙන්න (UPDATE)

(21-05-2018 11:01)

 

අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වු වැඩිම වර්ෂාපතන අගයන් පහතින් දැක්වෙනවා.

------------------------------------

ආපදා නිසා අවහිර වී ඇති මාර්ග ගැන පොලිසියෙන් දැනුවත් කිරීමක් (UPDATE) (PHOTOS)

(21-05-2018 10:24)

 

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකට ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් සහ ආපදා හේතුවෙන් අවහිර වී ඇති මාර්ග පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමක් සිදු කරනවා.

(එම තොරතුරු පහතින් අහන්න)
 

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර යාපනය  ඒ - 09  මාර්ගයේ කොටසක් අලවතුගොඩ අටේ කණුව ප්‍රදේශයෙන් ගිලා බැස තිබෙනවා.

මෙම ස්ථානයේ විශාල කොටසක් ගිලා බැස ඇති අතර මංතීරු දෙකකින් යුත් මෙම මාර්ගය ගිලා බැසීම නිසා  මෙම ස්ථානයේ වාහන ගමනාගමනය  එක් මංතීරුවකට සීමා කෙරුණා.

------------------------------

හදිසි ගංවතුර තත්ත්වයක් : රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් රැසක් ඉවත් කෙරේ   (PHOTOS) (UPDATE)

(21-05-2018 06:12)

 

 

ඇතිවී  තිබෙන තද වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ වන විට ගංවතුර තත්ත්වයක් ඇතිවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

කැළණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, අත්තනගලු ඔය සහ මහා ඔයේ ජල මට්ටම මේ වන විට සිග්‍රයෙන් ඉහල යමින් තිබෙන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් එම ගංගා හා ඔයවල් අසල පහත් බිම් වල සිටින ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යන මෙන්ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. 

ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සහ ගාල්ල තවලම ප්‍රදේශයේ ජනතාව ඊයේ (20) රාත්‍රීයේදී ආරක්‍ෂිත ස්ථාන කරා යැවු බව ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරනවා.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අවධානම් කලාප ලෙස හදුන්වා ඇති ස්ථාන වල සිටින ජනතාව තාවකාලිකව එම ප්‍රදේශ වලින් ඉවත්වන ලෙස දන්වා සිටිනවා.

ගංවතුර නැරඹීමට හා අවදානම් සහිත ස්ථාන වලින් දියනෑම සිදුනොකරන මෙන්ද ආපදා කළමනාකරණ මධයස්ථානය මහජනතාව ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

...................................................................................................................................................................

අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 150ක තද වැසි  - අවධානයෙන් සිටින්න

(21-05-2018 05:27)

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ අහස වළාකුලින් බර ස්වභාවය තවදුරටත් බලාපොරොත්තු වන බව අද (21) අලුයම නිකුත් කළ කාලගුණ වාර්තාවෙන් පෙන්වා දෙනවා.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවයි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

එම වාර්තාව පහතින් දැක්වෙයි.
 

------------------------------------

දිවයිනේ ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලෙයි  (PHOTOS) (UPDATE)

(21-05-2018 05:27)

 

 

අද (21) උදෑසන 5 න් අවසන්වූ ගතවූ පැය 21 ක කාලය තුලදී දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 අගය ඉක්මවූ වැසි වාර්තාවූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර සිටිනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන වැසි මාපක වල සටහන්වූ වර්ෂාපතන අගයන් වලට අනුව රත්නපුර නගරයට මිලිමීටර් 144.7, ඇහැලියගොඩ ප්‍රදේශයට මිලිමීටර් 213.2ක්, කහවත්ත ප්‍රදේශයට මිලි මීටර් 100 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රදේශයට මිලි මිටර් 169.7ක්, කෑගල්ල අරනායක ප්‍රදේශයට මිලිමීටර් 121 ක්, මහනුවර දිස්ත්‍රික්කයේ පුස්සැල්ලාව ප්‍රදේශයට මිලිමීටර් 121.7ක්, මහනුවර කුරුදුවත්ත ප්‍රදේශයට මිලිමීටර් 126.2 ක් හා කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය ප්‍රදේශයට මිලිමීටර් 120 ක වර්ශාපතනයක් ලැබී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ අද දිනයේදී වර්ෂාව දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට බලාපොරොත්තු වන බවයි.

 

...........................................................................................................................................................

කැළණි ගඟේ ජල මට්ටම ඉහලට

(20-05-2018 22:46)

ඇදහැලෙමින් පවතින වර්ෂාවත් සමග කැළණි ගඟේ ජල මට්ටම මේ වන විට ඉහල යමින් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා.

ඒ අනුව කොළඹ, කැළණිය, කඩුවෙල, කොලොන්නාව, හංවැල්ල, දොම්පේ, බියගම, රුවන්වැල්ල සහ දැරණියගල යන ප්‍රදේශයෙන් හි ජිවත් වන ජනතාව අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සදහන කර සිටිනවා.

...........................................................................................................................................................

ඉදිරි පැය 36 සදහා කාලගුණ නිවේදනය මෙන්න: කළු, ගිං, නිල්වලා ගඟේ සහ  අත්තනගල්ල ඔයේ  ජල මට්ටම ඉහලට

(20-05-2018 16:59)

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ගිංගඟේ ජලමට්ටම තවලම ප්‍රදේශයේදී හා කළු ගඟේ ජලමට්ටම නීල්ලකන්ද ප්‍රදේශයේ දී ඉහල ගොස් තිබෙන බවත් ඊට අමතරව නිල්වලා ගගේ ජලමට්ටම වැඩි වීමේ ප‍්‍රවණතාවක් ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා. මේ හේතුවෙන් අවට ප‍්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි ප‍්‍රකාශ කෙරුණේ.

අධික වැසි තත්ත්වයත් සමග අත්තනගලු ඔයේ ජලමට්ටම ඉහල යමින් පවතිනවා. ඒ අනුව මිගමුව, ජා-ඇල, මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රදේශයේ ජිවත් වන ජනතාවට කල්පනාකාරීව සිටින්නැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

මේහේතුවෙන් එම ප්‍රදේශ සඳහා ගලවා ගැනීමේ උපකරණ මේවන විටත් ස්ථානගත කරමින් පවතින බවත් හදිසි ගංවතුර තත්ත්වයක් පිළිබඳව අවධානයෙන් පසුවන්නැයි ගඟ දෙපස සිටින ජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කර සිටිනවා.

මේ අතර ඉදිරි පැය 36 ක කාලය තුල වැසි තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරනු ලබන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන කාලගුණ වාර්තාවට අනුව පෙනී යනවා.

ඒ අනුව සබරගමුව, බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ පළාත් වලට වැසි අපේක්ෂා කරන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි තත්ත්වයන් ඇතිවිය හැකි බව කාලගුණ වාර්තාවේ සඳහන් වෙනවා.

වැසි තත්වයත් සමග තද සුළං හා අකුණු ඇතිවීමේ අවධානමක්ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ හේතුවෙන් අකුණු අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මීට අමතරව දිවයින වටා මුහුදේ ද විටින් විට වැසි සහ තද සුළං ඇති වීමේ හැකියාවක් පවතින බැවින් ධිවර හා නාවික ප්‍රජාවට ඒ පිළිබදව අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

...........................................................................................................

නායයෑමේ අවධානමක් ගැන ජනතාවට විශේෂ නිවේදනයක්  

(20-05-2018 16:00)

පසුගිය පැය 24 ක කාලය තුලදී වර්ෂාපතන අගය මිලිමීටර් 75 ක අගය ඉක්මවා ඇති බැවින් ඉදිරියේදී වර්ෂාව දිගටම පැවතියොත් පහත සඳහන් දිස්ත්‍රික් ආශ්‍රිතව නාය යෑමේ, ඉවුරු කඩා වැටීමේ, ගල් පෙරලීමේ අවධානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ඒ අනුව,

කළුතර දිස්ත්‍රික්කයේ : අගලවත්ත, බුලත්සිංහල, පාලින්දනුවර, වලල්ලාවිට, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයන්

කෑගල්ල දිස්ත්‍රික්කයේ : දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට, අරණායක, රඹුක්කන, කෑගල්ල, බුලත්කොහුපිටිය,  රුවන්වැල්ල, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයන් 

රත්නපුර දිස්ත්රික්කයේ : ඇහැලියගොඩ, කුරුවිට, රත්නපුර, ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයන් සහ ඒ අවට ප්‍රදේශයන් 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ :- රීදිගම, ඉබ්බාගමුව, මාවතගම, මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයන් සහ ඒ අවට ප්‍රදේශයන් 

නුවරඑලිය දිස්ත්‍රික්කය :- අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂය සහ ඒ අවට ප්‍රදේශයන් 

බදුල්ල දිස්ත්‍රික්කය :- හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයන සහ ඒ අවට ප්‍රදේශයන් 

ගාල්ල දිස්ත්‍රික්කය :- ඇල්පිටිය, ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයන් සහ ඒ අවට ප්‍රදේශය

කොළඹ දිස්ත්‍රික්කයේ :- සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂය සහ ඒ අවට ප්‍රදේශයන් හා ගම්පහ දිස්ත්‍රික්කයේ ජිවත් වන මහජනතාවට අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කර සිටිනවා.