Tuesday, April 23, 2024

General line - 0115112241

ආපදා මරණ 9 : පුද්ගලයින් 68000 ක් පිඩාවට (UPDATE)

දිනුක් හේවාවිතාරණ /ජූඩ් සමන්ත/රවින්ද්‍ර චන්ද්‍රලාල්/සැම්සන් ප්‍රේමසිරි/චිරාන් ජීවන්ත/පසන් වික්‍රමතිලක/ටී.කේ. මහින්ද/ගුණරත්න ගමගේ




පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේවන විට පුද්ගලයින් 09 දෙනෙක් මිය ගොස් තවත් 68,000 ක් පිඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. වාර්තාවූ මරණ වලින් පුද්ගලයින් 4 දෙනෙක් අකුණු අනතුරු නිසාද, දියේ ගිලීමෙන් මරණ 2ක්, ගස් අතු කඩා වැටීමෙන් මරණ 2ක් හා පස් කදු කඩා වැටීමෙන් එක් පුදගලයෙක්ද මරණයට පත්ව තිබෙනවා.

මිට අමතරව කැළණි ගඟේ ජල මට්ටම නාගලම් විදිය හා හංවැල්ල ප්‍රදේශයේ ඉහල ගොස් ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා. එමෙන්ම කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් රත්නපුර - ඇල්ල ප්‍රදේශයේ, ගිං ගඟ පිටාර ගැලීමෙන් ගාල්ලේ බද්දේගම ප්‍රදේශයෙන් හා මාතර නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් පාතගම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඊට අමතරව මාඔය බඩල්ගම ප්‍රදේශයෙන් හා අත්තනගල්ල ඔය දුනමලේ ප්‍රදේශයෙන් පිටාර ගලා ඇති අතර ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය ගැන ජනතාවට අවධානයෙන් සිටින්නැයි මහජනතාවට දැනුම් දෙනවා. 

හෙට දිනයේ සිට වැසි තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන නිසා ගංගා ආශ්‍රිත ජනතාව සිටින ජනතාව ඉතා අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙනවා.
 

...............................................................................................................................................................

කාලගුණයෙන් හදිසි නිවේදනයක්

(22-05-2018 15:38)

හෙට (23) සිට දින 04 ක කාලයක් සදහා වැසි සහිත කාලගුණික තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ හා දකුණු පළාත් වලට මෙලෙස අධික වැසි සහිත කාලගුණික තත්ත්වය බලපානු ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ. 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් වලට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්ට මේ අනුව මිලි මීටර් 150 ඉක්මවූ වැසි ඇති වන බව සදහන්. එමෙන්ම වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග තද සුළං ඇති විය හැකි බවට දැනුම් දෙනවා. 

අකුණු අනතුරු අවම කර ගැනීම සදහා මහජනතාව විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

 

 

...............................................................................................................................................................................

ගතවූ පැය විසිහතරේ වැඩිම වර්ෂාපතනය කුලියාපිටියට 

(22-05-2018 14:46)

අද (22) උදෑසන 08:30න් අවසන් වූ පැය විසිහතර තුළ වැඩිම වර්ෂාපතනය කුලියාපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. එහි අගය මිලි මීටර් 194.8ක් ලෙස සටහන් වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

ලක්ෂපාන ප‍්‍රදේශයට මිලි මීටර් 128.6ක් සහ නෝටන් ප‍්‍රදේශයට මිලි මීටර් 124ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. කොත්මලේ ප‍්‍රදේශයට මිලි මීටර් 123.4ක් සහ කැනියන් ප‍්‍රදේශයට මිලි මීටර් 121.1ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත් වලට මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

...............................................................................................................................................................................

කැළණි ගගේ ජලය හංවැල්ලෙන් තවදුරටත් ඉහළ යමින් පවතී

(22-05-2018 13:55)

මහවැසි සමග ඇතිවූ ආපදා හේතුවෙන් මේ වන විට දිස්ති‍්‍රක් 15ක පවුල් 9,815කට අයත් 40,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

මේ දක්වා ආපදා මරණ 08ක් වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.

ප‍්‍රධාන ගංගාවල ඉහළ කොටසේ ජල මට්ටම් අඩුවුවද පහළ කොටසේ ජනතාවට ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් බියගම මල්වාන පාර හන්දියද ජලයෙන් යටවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ වනවිට නාගලගම්වීදිය ජල මාපකයේ කැළණි ගගේ ජල මට්ටම 5.2ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කැලණි ගගේ නවතම තත්ත්වය පිළිබඳ විස්තර කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ මාලා අලවතුගොඩ පෙන්වා දුන්නේ නාගලගම්වීදිය, හංවැල්ල, අවිස්සාවේල්ල සහ නෝවුඩ් යන ප්‍රදේශවල ගඟ තවදුරටත් ගංවතුර මට්ටමේ පවතින බවයි. හංවැල්ල ස්ථානයෙන් ගගේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇති බව නිරීක්ෂණය වී ඇති බවද සඳහන් කළා. 

කළු ගඟද ඇතැම් ප‍්‍රදේශවලින් තවමත් පිටාර ගලමින් පවතින බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ. කළු ගගේ රත්නපුර, මිල්ලකන්ද ජල මාපකවල තවදුරටත් ගංවතුර මට්ටමක් පෙන්නුම් කරන බවද සඳහන් කළා. කෙසේවෙතත් රත්නපුරේ ජල මට්ටම අඩු වෙමින් ඇති බවට පෙන්නුම් කරන බවද සඳහන් කළා. සමස්ථයක් ලෙස ගඟ තවමත් ගංවතුර අවධානම් මට්ටමේ ඇති බවද පෙන්වා දුන්නා.

ගිං ගග, පිටාර ගැලීම හේතුවෙන් බද්දේගම ප‍්‍රදේශය ගංවතුර අවදානමක පවතින බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ රැසක් ජලයෙන් යටවී පවතිනවා. 

නිල්වලා ගඟ ස්ථාන කිහිපයකින් පිටාර ගැලීමෙන් මාතර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ කිහිපයකටද බලපෑම් එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී. කේ. මහින්ද පැවසුවේ කඹුරුපිටිය සියඹලාගොඩ මාර්ගය, කඹුරුපිටිය කද්දූව මාර්ගය, බලකාවල සහ තවත් අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවයි. ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධිවීම් සහ ගස් කඩා වැටීම් හේතුවෙන් බාධා ඇතිව තිබූ බවද පෙන්වා දුන්නා. ඒවා මේ වන විට යථාතත්ත්නයට පත්වෙමින් ඇති බවද සඳහන් කළා.

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ආපදා තත්ත්වය පිළිබඳ වාර්තා කළ නෙත් නිවුස් වාර්තාකරු ගුණරත්න ගමගේ පෙන්වා දුන්නේ වර්ෂාපතනය මේ වන විට තරමක අඩුවක් දක්නට ලැබුණත් වැසි සහිත කාලගුණය දිගටම පවතින බවයි. කිරමඔය පිටාර ගැලීම හේතුවෙන් බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගය දම්මුල්ල ප්‍රදේශයෙන් අවහිර වී ඇති බවත් සඳහන් කළා. තංගල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශයත් ජලයෙන් යටවීමේ අවධානමක් ඇති බවයි වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්ක සඳහා ති‍්‍රවිධ හමුදාවේ 3,000කට වැඩි පිරිසක් යොදවා සිටිනවා. 

මේ අතර ගංවතුරට කොටුව සිටින පිරිස් බේරා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානාද යොදවා ඇති බවයි ගුවන් හමුදාව ප‍්‍රකාශ කළේ. නාවික හමුදාවද කොටුවී සිටින පිරිස් මුදා ගැනීම සඳහා බෝට්ටු සේවා යොදවා ඇති බව නාවික හමුදාව සඳහන් කළා.

මේ අතර හැමිල්ටන් ඇළ පිටාර ගැලීම හේතුවෙන් නාත්තණ්ඩිය තුන්මෝදර ප‍්‍රදේශයේ පවුල් 16ක් කොටුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඔවුන් මුදා ගැනීම සඳහා නාවික හමුදාව මේවනවිට මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා.
 

 

-----------------------------

කඩුවෙල වෙලේ හන්දිය ජලයෙන් යටවෙයි - කඩුවෙල අන්තර් හුවමාරුවත් වැසෙයි  (PHOTOS) (UPDATE)

(22-05-2018 10:26)

 

අවිස්සාවේල්ල - කොළඹ ලෝ ලෙවල් මාර්ගය කඩුවෙල වෙලේ හන්දියෙන් ජලයෙන් යට වී තිබෙනවා.

ඒ හේතුවෙන් කුඩා වාහන ධාවනය සීමා කර ඇති බවයි වාර්තා වෙන්නේ. 

මේ අතර ජල ගැලීම් හේතුවෙන් කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව තාවකාලික වසා දමා තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ අධිවේගී මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගද ජලයෙන් යටවී ඇති බවයි. කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කඩුවෙල ප‍්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

 

--------------------------------------

කලවානේදී ගංවතුරට කොටු වූ ගැබිණි මව්වරුන් 09ක් සමග 172ක් බේරා ගැනේ (UPDATE)

(22-05-2018 09:16)

 

 

කලවාන ප්‍රදේශයේ ගංවතුරට කොටු වී සිටි පුද්ගලයින් 172ක් බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.

ඒ අතර ගැබිණි මව්වරුන් 09 දෙනෙකුද සිටින බවයි වාර්තා වුණේ.

 

-----------------------------------

පීඩාවට පත් පුද්ගලයින් ගණන තිස්අටදහස ඉක්මවයි (UPDATE)

(22-05-2018 06:58)

 

මහ වැසි හේතුවෙන් දිස්ත‍්‍රික්ක 15කට මේ වනවිට බලපෑම් එල්ල වී තිබෙනවා. පවුල් 9851කට අයත් පුද්ගලයින් 38.040ක් ඉන් පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

වාර්තා වී ඇති ආපදා මරණ සංඛ්‍යාව 08ක්.

ගිං ගඟ පිටා ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ති‍්‍රක්කයේ පවුල් 1960ක් පිාවට පත්ව සිටින බව නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවා.

මේ අතර පානදුගම ප‍්‍රදේශයෙන් නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් මාතර, කඩවත් සතර, තිහගොඩ, මාලිම්බඩ, කඹුරුපිටිය, අකුරැස්ස හා පිටබැද්දර යන ප‍්‍රදේශ ජලයෙන් යටවී තිබෙනවා. 

රත්නපුර දිස්ති‍්‍රක්කයේ පවුල් 253ක් මහ වැසි හේතුවෙන් ආපදාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් රත්නපුර, ඉංගිරිය, කිරිඇල්ල, කුරුවිට සහ ඇලපාත යන ප‍්‍රදේශ ජල ගැලීම්වලට ලක්ව තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

 

 

------------------------

පුත්තලම-කොළඹ දුම්රිය ධාවනයටත් කාලගුණය හරස් වෙයි (UPDATE)

(22-05-2018 06:41)

 

පුත්තලම - කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.

ඒ අනුව කාර්යාලීය දුම්රියන් ලුණුවිල දුම්රිය ස්ථානයේ සිට කොළඹ දක්වා ගමන් කරන බවද එම ප්‍රකාශකයා පැවසුවා.

නාත්තන්ඩිය සහ තුම්මෝදර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය හැමිල්ටන් ඇල පිටාර ගැලීම හේතුවෙන් යට වී තිබීම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.
 

--------------------------------

පුත්තලම දිස්ත්‍රික්කයේ 5862ක් අවතැන් - ගමනාගමනයට බාධා වී ඇති ස්ථාන මෙන්න

(22-05-2018 06:29)

 

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 1486 ක පුද්ගලයින් 5862 ක් අවතැන්වී සිටින බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරනවා.

ප්‍රදේශයේ ලොකු කුඩා වැව් සියල්ල මේ වන විට ජලයෙන් පිරී පවතින බවයි වාර්තා වෙන්නේ.

කඩුපිටිඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත - කොළඹ මාර්ගය මාදම්පේ සහ මහවැව ප්‍රදේශවලදී ජලයෙන් යටවී පවතිනවා. මෙම මාර්ගයේ බර වාහන පමණක් ගමන් කරන අතර, සැහැල්ලු වාහන සහ යතුරු පැදි ගමන් කිරීම අනතුරුදායක බව පොලීසිය සඳහන් කරනවා.

කටුපත වැව පිටාර ගැලීමත් සමග මහාමාඑළිය වැව් බැම්ම කැඩී යාමත් සමග පුත්තලම - හලාවත මාර්ගය බත්තුළුඔය ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා.

රතඹලාඔය පිටාර ගැලීම හේතුවෙන් ආණමඩුව - හලාවත මාර්ගය සේරුකැලේ ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති අතර, මදවක්කුලම ගම්මානයේ ස්ථාන කීපයක්ද ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වුණේ. මදවක්කුලම ගම්මානයේ කිරි ගවයින් විශාල පිරිසක් සැඩ ජලපහරට හසු වී ගසා ගෙන ගොස් ඇති බවද ගම්වාසීන් කියා සිටිනවා.

කලාඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලම - මන්නාරම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිටියා. එළුවන්කුලම සපත්තු පාලමෙන් අඩි තුනහමාරක පමණ ජලයක් ගලා යන බව නාවුක හමුදාව සඳහන් කළා.

තබ්බෝව ජලාශයේ ජල මට්ටම අඩි 16යි අඟල් 03 ක් දක්වා ඉහළ නැග තිබෙනවා. එහි වාන් මට්ටම වන්නේ අඩි  දාහතාමාරක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.

රාජාංගනය ජලාශයේ වාන් මට්ටම අඩි තිස්හතරාමාරක්  වන අතර, මේ වන විට ජලය අඩි 33 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මේ වන විට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 08 ක් අඩි 01 බැගින් විවෘත කර තිබෙනවා. ඉන් තත්පරයට ජලය ඝන අඩි 25000 ක් දැදුරුඔයට මුදා හැරෙනවා. මෙම තත්ත්වය නිසා දැදුරුඔයද පිටාර ගලන්නට පටන් ගෙන ඇති බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

අයහපත් කාලගුණය හේතුවෙන් අවතැන්වී සිටින පිරිස් සඳහා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කඳවුරු 02 ක් ස්ථාපනය කර තිබෙනවා. ඒ විජය කටුපත ප්‍රදේශයේයි.

මේ අතර මුහුද රළු වීම හේතුවෙන් මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩාමඩු වැල්ල මුහුදු තීරය සහ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරුකුපනේ වෙරළටද හානි සිදු වී ඇති බවයි වාර්තා වුණේ.