Friday, March 29, 2024

General line - 0115112241

යළිත් වැස්ස වැටුණොත් තත්ත්වය වෙනස් වෙයි (UPDATE)

තරංග රුක්ෂාන්/ලහිරු කලුගේ/ටී.කේ මහින්ද/සුපෙම් මානගේ




අද උදෑසන කාලයේ සිට මේ දක්වා දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණික තත්ත්වයක් පවතිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ අද රාති‍්‍රයේ ප‍්‍රදේශ රැසකට වැසි ඇදහැළෙනු ඇති බවයි.

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවලටද තද වැසි ඇදහැලෙනු ඇති බවයි පැවසෙන්නේ. හෙට (24) දිනයේද තද වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති. 

මේ වනවිට පවතින තත්ත්වය පිළිබද පැහැදිළි කරමින් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි  සඳහන් කළේ ආපදා හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාවද 10 දක්වා ඉහළ ගොස් ඇති බවයි. ආපදා අනතුරු අවම කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසටයි මෙහිදී ජනතාවට දැනුම් දුන්නේ.

අවතැන් පුද්ගලයින් 27621 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 194ක රඳවා සිටිනවා. දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් පුරා ඇති වූණු මෙම ආපදා හේතුවෙන් පුද්ගලයින් 84943 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටිනවා.  

මේ අතර ජල ගැලීම් හේතුවෙන් මාතර ප‍්‍රදේශයට කිඹුල් තර්ජන එල්ල වී ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු ටී. කේ. මහින්ද සඳහන් කළා. 

වැසි වැඩිවන බැවින් ගංගා අවට ජනතාව තවදුරටත් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

ජල විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ මාලා අලවතුගොඩ පෙන්වා දුන්නේ "මේ වන විට ගංවතුර අවධානමට ලක්වෙලා තිබ්බ ගංගා බොහොමයක ජල මට්ටම අඩුවෙලා තියෙන්නේ. සමහර ස්ථානවල සුළු ගංවතුර තත්ත්වයක් තියෙනවා. කැළණි ගගේ නාගලගම්වීදිය සහ හංවැල්ල යන ස්ථානවල තාම සුළු ගංවතුර තත්ත්වයක් තියෙනවා. කොහොම වුණත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන විදිහට නැවත වර්ෂාව ඇති වුණොත් මේ කියන තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්." යනුවෙනි.

 

---------------------------------

වර්ෂාවේ වැඩිවීමක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි 

(23-05-2018 06:26)

 

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාළගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් විශේෂයෙන් අද (23) රාත්‍රියේ සිට බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවකින් නිවේදනය කරනවා.

(එම සම්පූර්ණ තොරතුරු පහතින් දැක්වෙයි)