Friday, April 19, 2024

General line - 0115112241

හෙට සිට ගර්භනී ගුරුවරියන්ට පහසු ඇඳුමක්




මෙරට පාසල් පද්ධතිය තුළ සේවය කරන  ගර්භණී ගුරුවරියන්ට රාජකාරී කටයුතු සඳහා පහසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබාදීමට පියවර ගෙන තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ සංකල්පයක් අනුව මෙම පියවර ගෙන ඇති අතර එහි සමාරම්භක ජාතික වැඩසටහන හෙට (24) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.  

ගර්භණී ගුරුවරියන්ට ඉගැන්වීම් කාර්යයෙහි නිරතවන විට පහසු ඇඳුමක් ලබාදීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යවරයා  දැනුවත් කර තිබෙනවා. ඒ අනුව ලබා දී ඇති නිර්දේශ අනුවයි අධ්‍යාපන අමාත්‍යවරයා විසින්  මෙම සංකල්පය හඳුන්වාදීමට තීරණය කර තිබෙන්නේ.

පාසල් පද්ධතිය තුළ මේ වනවිට සිටින දෙලක්ෂ තිස්හයදහසක් පමණ වන ගුරුභවතුන් අතරින් 172000ක පමණ පිරිසක් ගුරුවරියන් වන අතර, වාර්ෂික ව ඔවුන් අතරින් 10000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රසූත නිවාඩු ගැනීමට යොමුවන බව සංඛ්‍යාත්මක දත්ත අනුව හෙළිවනවා. ඒ අනුව හෙට සිට පාසල් පද්ධතියේ සිටින සියලු ගර්භණී ගුරුවරියන්ට තම අවශ්‍යතා පරිදි මෙම සුවපහසු ඇඳුම භාවිත කිරීමට ඉඩ සලසා තිබෙනවා.