Friday, March 29, 2024

General line - 0115112241

අධ්‍යාපනයේ මානව සම්පත් වෙනුවෙන් විශිෂ්ටතම සේවයක් ඉටුවෙන කාලය මෙය බව අමාත්‍යාංශ ලේකම් කියයි




ගර්භණී ගුරුවරියන්ට සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට ඉඩප්‍රස්තාව ලබා දෙන වැඩසටහන අද (24) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ආරම්භ කෙරුණා.

පාසල් පද්ධතිය තුළ ඉගෙනුම් - ඉගැන්වීම් කාර්යයේ නිරත ව සිටින ගර්භණී ගුරුවරියන්ට රාජකාරී කටයුතු සඳහා පහසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ සංකල්පයක් අනුව මෙලෙස පියවර ගැනුණා.

ගර්භණී ගුරුවරියන්ට ඉගැන්වීම් කාර්යයෙහි නිරතවන විට පහසු ඇඳුමක් ලබාදීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර, ඒ අනුව ලබා දී ඇති නිර්දේශ අනුවයි, අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පාසල් පද්ධතිය වෙත මෙම සංකල්පය හඳුන්වාදීමට තීරණය කර තිබෙන්නේ.

පාසල් පද්ධතිය තුළ මේ වනවිට සිටින දෙලක්ෂ තිස්හයදහසක් පමණ වන ගුරුභවතුන් අතරින් 172000ක පමණ පිරිසක් ගුරුවරියන් වනවා. වාර්ෂිකව ඔවුන් අතරින් 10000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රසූත නිවාඩු ගැනීමට යොමුවන බව සංඛ්‍යාත්මක දත්ත අනුව හෙළිව තිබෙනවා. 

ඒ අනුව අද සිට පාසල් පද්ධතියේ සිටින සියලු ගර්භණී ගුරුවරියන්ට තම අවශ්‍යතා පරිදි මෙම සුවපහසු ඇඳුම භාවිත කිරීමට ඉඩ සලසා දී තිබෙනවා.

මෙම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස අමතමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි සඳහන් කළේ වසර 70 ගණනක එපිට මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අධ්‍යාපනය වෙනුවෙන් විශිෂ්ටතම සේවාවක් කළ කාලසීමාව මෙය වන බවට තමා අගය කරන බවයි.

මෙතෙක් කිසිම කලක නොවුණ ආකාරයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් වැදගත් තීරණ ගනිමින් සිටින බවද පෙන්වා දුන්නා.