Friday, April 19, 2024

General line - 0115112241

ගංගාවල ජල මට්ටම් යළිත් වැඩිවීමක් - අවධානයෙන් සිටින්න 

ඉෂාර සුපෙම් මානගේ




මේ වන විට කළු ගඟේ ගංවතුර තත්ත්වය අවධානම් මට්ටමකට පැමිණි ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත උපුටා දක්වමින් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.

ඊයේ (23) දිනයේ පටන් අඛණ්ඩව රත්නපුරේ සිට පහළ කළුතර සීමාව දක්වා  බොහෝ ස්ථානවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා.

ගංගා ආශ්‍රිත තත්ත්වයේ යම් අඩුවීමක් කැළණි ගගෙන් පෙන්නුම් කළත් කළු ගගේ වැඩිවීමකුත් ගිං ගගේ බද්දේගම ප්‍රදේශයෙන් වැඩිවීමකුත් නිල්වලා ගගේ පානදුගම ප්‍රදේශයේ වැඩිවීමකුත් අත්තනගලු ඔයේ දූනමලේ ප්‍රදේශයේ වැඩිවීමකුත් පෙන්නුම් කරන බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

තවදුරටත් වැසි සහිත තත්ත්වයන් අද (24) දිනයේදීත් බලාපොරොත්තුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද පෙන්වා දී ඇත්තේ. වාරි ප්‍රදෙස්වල ජීවත් වෙන ජනතාවද වර්ෂාව පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි වැඩි දුරටත් සඳහන් කෙරුණේ.

දිවයිනට බස්නාහිර, නිරිත සහ උතුරු දෙසින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතීන් හේතුවෙන්, ගාල්ල සිට කොළඹ, මන්නරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ‍වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද පෙන්වා දෙනවා.

සුළගේ වේගල පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර විය හැකි බැවින් ධීවරයින්, නාවිකයින් සහ වෙරළ ආශ්‍රිතව ජීවත්වෙන පිරිස් අවධානයෙන් පසුවිය යුතු බවයි පෙන්වා දෙන්නේ.

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක සිදු වූ අධික වැසි සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 124733ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා මරණ 12 වාර්තා වී ඇති අතර ආරක්ෂිත සහන කඳවුරු 246 ක පුද්ගලයින් 56472 රැඳී සිටිනවා.