Wednesday, April 24, 2024

General line - 0115112241

හැටන්-කොළඹ මාර්ගයේ වාහන ධාවනය අවදානම් (UPDATE) (PHOTOS)

දිනුක් හේවාවිතාරණ /හැටන් - රංජිත් රාජපක්ෂ




හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශය හරහා රථ වාහන ගමනා ගමනයට අවධානම් බව අඹගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය දැනුම් දෙන බව අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කරනවා.

ප්‍රදේශයට බලපා තිබෙන අයහපත් කාලගුණයත් සමග ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ නායයෑම් හා පස්කදු කඩා වැටීම හේතුවෙන් මේ වන විට එම   ස්ථානයේ වාහන ධාවනය සදහා එක් මංතීරුවක් පමණක් විවෘත කර තිබෙනවා.

තවදුරටත් දියගල ප්‍රදේශයේ නායයාමේ හා පස්කදු කඩා වැටීමේ අවධානමක් පවතින බැවින් එම මාර්ගයේ වාහන ධාවනය කරනවා වෙනුවට වෙනත් විකල්ප මාර්ග භාවිත කරන මෙන් රියදුරන් දැනුවත් කරමින් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගිනිගත්හේන නගර මධ්‍යයේ දැන්වීමක්ද ප්‍රදර්ශනය කර තිබෙන අයුරු දක්නට ලැබුන බවයි අප වාර්තාකරු පැවසුවේ.

 

..............................................................................................................................................................

ආපදා මරණ සංඛ්‍යාව 13 : පිඩාවට පත්වූ පිරිස 125,000 කට අධිකයි

(24-05-2018 16:03)

දිස්ත්‍රික් 19 කට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති අතර පවුල් 32,136 කට අයත් පුද්ගලයින් 125,954 දෙනෙක් පිඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එමෙන්ම ගංවතුර හා නායයාමේ අවදානම් සහිත දිස්ත්‍රික්ක 10 ක පවුල් 13,832 ක් මේ වන විට ආරක්‍ෂිත මධ්‍යස්ථාන 251ක රඳවා තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ මේ වන විට කැළණි, නිල්වලා, ගිං ගංගාවල සහ අත්තනගලු හා මාඔයේ ජල මට්ටම් වල යම් අඩුවීමක් දක්නට ලැබෙන බවයි. කළු ගඟේ ජල මට්ටම අඩුවෙමින් පැවතියත් ඇතැම් ස්ථාන වල සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවද වාර්තා වනවා.

තත්ත්වය මෙසේ පැවතියත් රත්නපුර, කෑගල්ල, කළුතර, බදුල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, කොළඹ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාදුන් නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තව දුරටත්  ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සදහන් කරන්නේ.

දිවයිනට බලපා තිබෙන නිරිතදිග මෝසම් වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන සැප්තැම්බර් මස දක්වා බලපැවැත්වෙනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.