Friday, March 29, 2024

General line - 0115112241

රුසියාවේ පුටින්ගේ හමුදාව බිම දැමු මගී ගුවන් යානයේ රහස වසර 04 කට පසු හෙළිවූ හැටි (PHOTOS/ VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මීට වසර 4 කට ඉහතදී මගින් 298 දෙනෙකුට මරු කැදවමින් මැලේසියානු ගුවන් සේවයට අයත් MH-17 ගුවන් යානයේ අනතුරට හේතුව රුසියානු හමුදා වෙන් එල්ලවූ මිසයිල ප්‍රහාරයක් බව එම ගුවන් යානයේ අනතුර පිළිබඳව විමර්ශනය සිදුකල ඩෙන්මාර්ක් විශේෂඥ විල්බර්ට් පොල්සින් කියා සිටිනවා.

2014 වසරේ ජුලි මස 17 වනදා මගින් 298ක් රැගත් මැලේසියානු ගුවන් සේවයට අයත් MH-17 ගුවන් යානය නෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ, ක්වාලාලම්පූර් දක්වා ගමන් කරමින් සිටියදි නැගෙනහිර යුක්රේනයට ඉහල අහසේදී එම ගුවන් යානයට එල්ලවූ මිසයිල ප්‍රහාරයකින් විනාශ වුවා.

අනතුරට පත්වූ ගුවන් යානයේ ගමන් කරමින් සිටියේ නෙදර්ලන්ත, ඕස්ට්‍රේලියා, මැලේසියා හා බ්‍රිතාන්‍ය ජාතිකයින් බව මැලේසියානු ගුවන් සේවය තහවුරු කර සිටියා. ඉන් බහුතරයක් දෙනා සිය නිවාඩු සමය වෙනුවෙන් මැලේසියාව වෙත ගමන් කරමින් සිටි අය බවටයි පසුව වාර්තා වුනේ.

මෙම අනතුර පිලිබදව විමර්ශනය සිදුකරන ඩෙන්මාර්ක් විශේෂඥ විල්බර්ට් පොල්සින් කියා සිටියේ යුක්රේන දේශසීමාවට ආසන්නයේ පිහිටි "කුර්ස්ක් නගරයට" ස්ථානගත කර සිටි 53 වන රුසියානු ගුවන් යානා නාශක බලඝණය විසින් මැලේසියානු මගී ගුවන් යානය ඉලක්ක කර ගනිමින් "BUK" නම් මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මෙම  "BUK" නම් මිසයිලය රුසියාව විසින් නිෂ්පාදනය කරනු ලබන ගුවන් යානා නාශක මිසයිලයක් බව තහවුරු කර ගෙන තිබෙන බව නිරීක්ෂකයින් සදහන් කළා.

තමන් ඇතුළු ඒකාබද්ධ නිරීක්ෂක කණ්ඩායම විසින් සොයා ගනු ලැබූ දත්ත හා මුලාශ්‍රයන් පිලිබදව රුසියාවෙන් පිළිතුරු අපේක්ෂා කරමින් යොමු කල වාර්තාවට මෙතෙක් නිසි පිළිතුරු නොලැබූ බවට  ඩෙන්මාර්ක් විශේෂඥවරයා මෙහිදී කියා සිටියා.

මෙම ප්‍රහාරයේ මුල් වගකීම එල්ල වුයේ යුක්රේනයට සහය දැක්වූ ගරිල්ලා කණ්ඩායමකට වුවත් පසුව සිදුකල නිරීක්ෂණයන් වලදී සොයා ගත් සාක්ෂි සමග එම සැකය රුසියාව දෙසට යොමු වුනා.

ගුවන් යානය විනාශ වූ ස්ථානය අසලින් සොයා ගනු ලැබූ මිසයිල කොටසේ සදහන් රුසියානු අක්ෂර සහ ඒ සම්බන්ධයෙන් සිදුකල විමර්ශන වලින් තහවුරු වුයේ එම ගුවන් යානා නාශක මිසයිලය රුසියානු හමුදාවන් භාවිත කරන එකක් බවයි.

කෙසේ වුවත් මේ සිදුවීම අදාලව වගකිවයුත්තේ කවුරුන්ද යන්න ගැන නම් කිරීමට ඉක්මන් නොවන බවත් රුසියාවෙන් ලැබෙන පිළිතුර ගැනද විමසිල්ලෙන් පසුවන බව පරීක්ෂණ සිදුකරන කණ්ඩායම සදහන් කරනවා.

මිසයිල ප්‍රහාරයෙන් විනාශ වූ මැලේසියානු ගුවන් යානය මේ වන විට නෙදර්ලන්තයේ තබා තිබෙනවා.