Tuesday, April 16, 2024

General line - 0115112241

රංජන් සිල්වාගේ ඝාතනයේ සුලමුල හෙළිවෙයි (UPDATE)

දිනුක් හේවාවිතාරණ / හේමන්ත කහවලගේ




රත්මලාන ඥානේන්ද්‍ර පාරේ ඊයේ රාති‍්‍රයේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් පැමිණි සුදු පැහැති මොටර් රථයක් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. එම වෙඩි තැබීම රත්මලානේ අංජු නැමැති පාතාල නායකයා විසින් මෙහෙයවා ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ. ඊයේ රාති‍්‍රයේ 08.30 ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ මන්ති‍්‍රවරයෙකු වන කේ රන්ජන් සිල්වා මියගියා.

වෙඩි වැදීමෙන් තුවාල  ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු එම් උපාලි නැමැති දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයෙක්. අනෙක් තැනැත්තා සරත්  ජයකොඩි නොහොත් ආමි සම්පත් නොහොත් උක්කුං නැමැත්තායි. ඔවුන් දෙදෙනා මේවනවිට කලූබෝවිල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. 

පාතාල කල්ලි දෙකක් වන රත්මලානේ ලන්සියාගේ කල්ලිය සහ රත්මලානේ රොහාගේ කල්ලිය අතර දිගු කලක සිට පවතින ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වන්නට ඇතැයි සැක කෙරෙනවා. කේ රන්ජන් සිල්වා රත්මලානේ රොහාගේ කල්ලියට ආධාර අනුබල දීම හේතුවෙන් ඝාතනය සිදු කර ඇති බවටයි වැඩිදුරටත් සැක පළ වන්නේ.
---------------------------------

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කරයි 

24-05-2018 22:38

(දිනුක් හේවා විතාරණ)

රත්මලාන ප්‍රදේශයේ ඥානේද්‍ර මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 62ක් වයසැති දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රන්ජන් සිල්වා යන අයයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා බවයි වාර්තා වන්නේ.

සිය නිවසේ මිදුලේ මිතුරන් සමග කතා කරමින් සිටින විට කාර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් නාගරික මන්ත්‍රිවරයාට වෙඩි පහරවල් 12 ක් පමණ එල්ල වී ඇති බවද වාර්තා වනවා.

සිද්ධිය පිලිබදව මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් නෙත් නිවුස් වෙත ප්‍රකාශ කර සිටියා.