Thursday, April 18, 2024

General line - 0115112241

ලොවට අභිරහසක් වූ උතුරු කොරියානු නායකයාගේ "දුවන ආරක්ෂකයින්" තෝරා ගන්නේ මෙහෙමයි (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ




උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් ගේ ආරක්ෂක භට පිරිස් සහ උතුරු කොරියානු නායකයාට එරට ආරක්ෂක අංශ මගින් ලබා දෙන ආරක්ෂාව කුමන ආකාරයේ එකක්දැයි පිළිබදව අද වන විට මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. 

මිට වසරකට ඉහතදී මුළු ලෝකයට න්‍යෂ්ටික අවි මගින් පහර දෙනු ඇති බවට සැකයක් මතු කළ උතුරු කොරියානු නායකයා ලෝක බලවතා වන අමෙරිකාව සමග සාකච්ජා කිරීමට අවශ්‍ය බව දැන්වීමත් සමග ඔහු වටා එතෙක් අභිරහසක්ව පැවති කරුණු ගණනාවක් ගැන තොරතුරු හෙළි වෙන්න පටන් ගත්තා.

පසුගිය කොරියානු සමුළුව අතරවාරයේදී ලෝක ජනමාධ්‍යයේ ඇස ගැටුනු උතුරු කොරියානු නායකයාගේ " දුවන ආරක්ෂකයින්" පිළිබඳව ඉන් අනතුරුව සියලුම දෙනා පාහේ කතා කරන්න පටන් ගත්තා.

යුරෝපිය ඇදුම් හැද ගත් "දුවන ආරක්ෂකයින්" පිරිස කවුරුන්ද යන්න හෙළි කිරීමටයි මේ සුදානම.

උතුරු කොරියානු නායකයාගේ ආරක්ෂාව භාරව සිටින්නේ එරට "මධ්‍යම පක්ෂ කාර්යාලය #6" යන කේත ක්‍රමයෙන් හදුන්වනු ලබන ආරක්ෂකයින් කණ්ඩායමයි. ලෝකයේ අනෙක් ජනාධිපතිවරුන්ට මෙන්ම උතුරු කොරියානු නායකයාගේ ආරක්ෂාව උදෙසා අදියර 03 කින් යුත් ආරක්ෂක නිලධාරින් වළල්ලක් පැය 24 පුරාවට රාජකාරියේ නිරතව සිටිනවා.

මින් සමීප ආරක්ෂකයින් ලෙස කටයුතු කරනු ලබන්නේ ඉහත සඳහන් කළ මධ්‍යම පක්ෂ කාර්යාලයේ #6 යන නිලධාරින් වන අතර ඔවුන් "ඇජුටන් හෙවත් විධායක ආරක්ෂකයින්" ලෙස නම් කරනු ලබනවා. මෙම පිරිස යුරෝපිය ඇදුම් හැදී පිරිසක් වන අතර උතුරු කොරියානු නායකයාගේ වම් සහ දකුණු පසින් නිලධාරින් 06 දෙනා බැගින් ද පිටුපසින් තවත් 06 දෙනෙකු සිය ආරක්ෂක රාජකාරියේ යෙදෙනවා. 

ඊට අමතරව තවත් සිවු දෙනෙකු ගෙන් යුත් ආරක්ෂක නිලධාරින් පිරිසක් උතුරු කොරියානු නායකයාගේ ඉදිරියෙන් ගමන් කරන බවයි වාර්තා වන්නේ.

උතුරු කොරියානු නායකයාගේ සමීප ආරක්ෂකයින් ලෙස කටයුතු කරනු ලබන මෙම විධායක ආරක්ෂකයින් තෝරා ගැනීමේ පරීක්ෂණය පිළිබඳව ද ඇත්තේ අපුරු සිද්ධීන් මාළාවක්. එලෙස ආරක්ෂක රාජකාරි තනතුරු සඳහා තෝරා ගනු ලබන පුද්ගලයින් කිම් පරම්පරාවේ හෝ වෙනත් උතුරු කොරියානු ප්‍රභූ පවුල් වලට නෑකම් කියන පිරිසක් පමණක් වීම විශේෂත්වයක් ගනු ලබනවා. 

තෝරා ගැනීමට පෙර එම පුද්ගලයින් පහත සඳහන් කරුණු අනිවාර්යෙන් සම්පුර්ණ කර තිබිය යුතු වනවා.

1) මනා ශරිර සෞඛයෙන් හෙබි පුද්ගලයෙක් වීම 
2)  කිසිදු දෘශ්‍ය හෝ ශ්‍රවණ ආබාධයක් නොතිබිම
4) උතුරු කොරියානු නායකයාගේ උසට සමාන උසකින් හෙඹි පුද්ගලයෙක් වීම 
5) පුහුණු වෙන් අනතුරුව ගිනි අවි ක්‍රියාකරවීම, සටන් කලාවන් හි මනා දක්ෂයෙක් වීම මේ අතර වනවා.

ඉහත කරුණු සපුරා තිබෙන පුද්ගලයින් පිළිබඳව එරට බුද්ධි අංශ පුළුල් පරීක්ෂාවක් සිදුකරනු ලබනවා. මෙහිදී ඔහුගේ පවුල පසුබිම හා පසු-පරම්රා දෙකක් පිලිබඳ වන තොරතුරු මෙහිදී නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි සේවය සදහා තෝරා ගනු ලබන්නේ. 

එලෙස තෝරා පත් කර ගන්නා පිරිස උතුරු කොරියානු විශේෂ බලකායට අනියුක්තව මුලික ආරක්ෂා පුහුණුව හා සටන් ක්‍රම, ගිනි අවි හැසිරවීමට අමතරව තොරතුරු තාක්ෂණය ඇතුළු අංශ ගණනාවක් පිළිබඳව පුහුණුවක් ලැබීමෙන් අනතුරුව උතුරු කොරියානු නායකයාගේ ආරක්ෂාව සදහා යොදා ගනු ලබනවා.

එරට නිතිය අනුව උතුරු කොරියානු නායකයා ගේ සමීපයේ ගිනි අවියක් ළඟ තබා ගෙන සිටිමට අවසර ඇත්තේ මෙම පිරිසට පමණක් වීමද විශේෂත්වයක් වනවා.

එමෙන්ම උතුරු කොරියානු නායකයා භාවිතා කරන දුරකථන ජාලයේ සුරක්ෂිතභාවය, ඔහු භාවිතා කරන පරිඝණකයේ ආරක්ෂාව භාරව කටයුතු කරන්නේද මෙම ආරක්ෂක භට කණ්ඩායමයි.

සිංගප්පුරුවට පැමිණ සිටින උතුරු කොරියානු නායකයාගේ ආහාර පාන සිට භාවිතා කිරීමට අවශ්‍ය බව පැවසූ විට නායකයාට ලබා දිය යුතු මත්පැන් සහ සිගරට් පවා මෙම ආරක්ෂකයින් විසින් සියුම්ව පරික්ෂා කරනු ලබනවා.

මෙම සමීප ආරක්ෂකයින් කණ්ඩායමට නිලධාරින් 200-300 ත් අතර පිරිසක් අයත් වන බවයි වාර්තා වන්නේ. 

කෙසේ වුවත් වර්ථමාන උතුරු කොරියානු නායකයා සිය පියා භාවිත කළ ආරක්ෂක භට පිරිස් වලට වඩා අඩු පිරිසක් ඔහු සිය ආරක්ෂාව සඳහා යොදවා ගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.