Thursday, April 25, 2024

General line - 0115112241

කොරියානු නායකයා "වැසිකිලියත්" රැගෙන සිංගප්පුරුවට ආ ගමන

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සිය සිංගප්පුරු සංචාරය අතරවාරයේදී බෙහෙවින් අපහසුතාවයට පත්ව සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (12) සවස පැවති ප්‍රවෘත්ති සාකච්ජාව අතරවාරයේදී හෙළිදරව් කළා. මෙහිදී අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඉදිරියේ කිම් ජොංග් උන් අපහසුතාවයට පත්වූ බවත් ද්විපාර්ශවික සාකච්ජා අවසන් වූ විගස ඔහු යලි උතුරු කොරියාව බලා පිටත්ව ගිය බවයි.

මේ අතර උතුරු කොරියානු නායකයා සිය රටේ සිට සිංගප්පුරුව බලා ඒම සඳහා ගුවන් යානා තුනක් යොදා ගෙන තිබුනා. ඉන් ගුවන් යානා දෙකක් සතුරන් නොමග යැවීම සඳහා (Decoy Flights) යොදා ගන්නා ගුවන් යානා ලෙසයි හදුන්වා තිබුනේ. එම ගුවන් යානා 03 වුයේ IL-76, එයාර් චයිනා බොයිං 747 ගුවන් යානාවක් සහ සෝවියට් රුසියාවේ නිෂ්පාදිත Ilyushin IL62 ගුවන් යානාවක් බවයි වාර්තා වන්නේ. 

උතුරු කොරියානු නායකයා සිංගප්පුරුව බලා පැමිණියේ එයාර් චයිනා බොයිං 747 දරණ ගුවන් යානයෙනි. අනෙක් ගුවන් යානා දෙකෙන් එකක් වන  IL-76 දරණ ගුවන් යානය මගින් උතුරු කොරියානු නායකයාගේ නිල රථය, සමුළුව පැවැත්වෙන කාලය තුලදී අවශ්‍ය කරනු ලබන ඔහුගේ ආහාර පාන ද ජංගම වැසිකිලිය රැගෙන පැමිණියා.

උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය සහ අනෙක් උතුරු කොරියානු නියෝජිතයින් රැගත් සෝවියට් රුසියාවේ නිෂ්පාදිත Ilyushin IL62 දරණ ගුවන් යානය සිංගප්පුරුව බලා පැමිණියා.

සාමාන්‍ය වශෙයන් ගත් කළ උතුරු කොරියාවේ සිට සිංගප්පුරුව බලා ඒමට ගුවන් යානයකට පැය 6.5 ක කාලයක් ගත වුවත් උතුරු කොරියානු නායකයා රැගත් ගුවන් යානයට සිංගප්පුරුව බලා ඒමට පැය 10 ක කාලයක් ගතව තිබුනා. එයට හේතුව වී ඇත්තේ උතුරු කොරියානු නායකයා පැමිණියේ චීනය හරහා වෙන්වූ ආරක්‍ෂිත ගුවන් මාර්ගයකින් වීමයි. චීනයේ ආරක්ෂක අංශ උසස් බලධාරියෙක් විදෙස් පුවත් සේවයකට පවසා සිටියේ උතුරු කොරියානු නායකයා සිය රටට ඉහළින් පියාසර කරන විට ඒ වෙනුවෙන් තම රටට සුවිශේෂි වූ ආරක්ෂක උපක්‍රම කිහිපයක් අනුගමනය කිරීමට සිදුවූ බවයි.

මෙම සංචාරය අතර වාරයේදී උතුරු කොරියානු නායකයා සිය ආහාර සඳහා ලබා ගත්තේ ඔහුගේ ආරක්ෂකයින් ගේ අධීක්ෂණය යටතේ පිසන ලද ආහාර වීමද විශේෂත්වයක් ගනු ලැබුවා.

එමෙන්ම ඔහු සිය ශරීර කෘත්‍ය සඳහා භාවිත කිරීම සඳහා ජංගම වැසිකිලියක් රැගෙන විත් තිබුනා. ඒ යම් හෙයකින් හෝ තමාගේ මළමුත්‍රා CIA ඇතුළු විදෙස් රහස් ඔත්තු සේවාවන් අතට පත්වීම වැළැක්වීම සඳහා ඔහු මෙලෙස සිය ආරක්ෂාව වෙනුවෙන් ගනු ලැබූ පියවරක් වුවා. 

මෙලෙස පුද්ගලයෙකු ගෙන් ලබා ගන්නා මළමුත්‍රා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම මගින් එම පුද්ගලයාගේ පෙලෙන්නාවූ රෝගාබාධා, ඔහු ප්‍රතිකාර ලබමින් සිටිනවාද යන්න ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාවක් තිබෙනවා.

මිට පෙර අවස්ථා කිහිපයකදී මේ අයුරින් විදෙස් සංචාරයන් හිදී රාජ්‍ය නායකයින් ගේ මළමුත්‍රා සාම්පල් ලබා ගත් බුද්ධි අංශ ඒ හරහා තොරතුරු එක් රැස්කර ගත් බවට ඉතිහාසයේ සාක්ෂි තිබෙනවා.

උදාහරණයක් වශයෙන් ගත් කළ සෝවියට් රුසියාවේ නායකයෙක් වන ලේනොයිඩ් බ්රෙස්නව් ප්‍රංශයේ සංචාරයක් නිරත වෙමින් සිටියදී ඔහු නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයේ තිබු වැසිකිලි නලය හරහා රජුගේ මුත්‍රා සාම්පල් ලබා ගෙන ඒවා වෛද්‍ය පරීක්ෂණයට ලක් කළ බව ප්‍රංශයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානි ඇලේක්සන්ඩර් ඩි මැරෙන්චස් පුවත්පතකට පවසා තිබුනා.

උතුරු කොරියානු නායකයා මෙලෙස තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙහෙස වන්නේ ඔහුව කුමන මොහොතක හෝ ඝාතනය කරනු ඇති බවට විශ්වාසයක් ඔහු තුල පවතින නිසාවෙන් බවයි වාර්තා වන්නේ.