Friday, March 29, 2024

General line - 0115112241

කිරිවෙහෙර විහාරාධිපති හිමිව කොළඹට රැගෙන එයි (UPDATE)

හේමන්ත කහවලගේ/ පසන් වික්‍රමතිලක




හම්බන්තොට රෝහලේ ප‍්‍රතිකාර ලබන පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමට පියවර ගෙන තිබෙනවා.

ඒ, ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මගින්.

හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුව උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ ඊයේ (12) රාත‍්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් තුවාල ලැබුවා.

 

----------------------------

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ හේතුව හෙළිවෙයි (UPDATE)  

(13-06-2018 11:12)

 

කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ දී කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ හේතුව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව අනාවරණය වී ඇත්තේ මහසෙන් දේවාලයේ ගැටලුවක් මුල්කර ගනිමින් මෙම  වෙඩි තැබීම සිදු වූ බවයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කරනවා.

 

---------------------

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් පැමිණි ජීප් රථය අල්ලයි (UPDATE) 

(13-06-2018 06:39)

 

කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ දී කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් පැමිණ තිබූ මෝටර් රථය මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (12) රාත‍්‍රියේ මෙම වෙඩි තැබීම සිදු වූණා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් පැමිණි ජීප් රථය මේ වනවිට පොලිස් භාරයට ගෙන පරීක්ෂණ සිදු කෙරෙන බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ "ස්වාමින් වහන්සේලාගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවටයි වාර්තා වෙන්නේ. සිද්ධිය සිදු වූ අවස්ථාවේදීම කතරගම පොලිසියට අවශ්‍යකරන තොරතුරු ලැබුණා. ලැබී තිබෙන සාර්ථක තොරතුරක් ඔස්සේ මේ වන විට විමර්ශන සිදු කරනවා. අද දිනය තුළ කෙසේ හෝ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.

අපරාධකරුවන් පැමිණ ඇත්තේ UP CAG 8531 දරණ හොණ්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථයකින්.

 

---------------------------------

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට පැය 05ක සැත්කමක් (UPDATE)

(13-06-2018 06:09)

 

කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ ඊයේ (12) රාත‍්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් තුවාල ලැබුවා.

උන්වහන්සේ දෙනම ප‍්‍රතිකාර ලබන්නේ හම්බන්තොට මහ රෝහලේයි.

ඊයේ රාත‍්‍රී 11.00ට පමණ වෙඩි ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ කිරිවෙහෙර මළුවේදීයි.

රතු පැහැති ජීප් රථයකින් පැමිණි තිදෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

විහාරවාසී පූජ්‍ය හිනිඳුම සුගතවංශ හිමියන්  නෙත් නිවුස් වෙත සිද්ධිය විස්තර කළා.

එහිදී "උන් වහන්සේ සෑම දිනකම රාත්‍රියේ කිහිවෙහෙර චෛත්‍ය රාජයානන් වහන්සේ වන්දනා මාන කරන්න කටයුතු කරනවා. එලෙස වන්දනාමාන කරලා පහළට වැඩම කරන අවස්ථාවේදී   යම්කිසි පිරිසක් ඇවිත් උන්වහන්සේට සහ අනෙක් ස්වාමීන් වහන්සේලාට වෙඩි තැබීමක් සිදු කළා. ඉන් නායක ස්වාමීන් වහන්සේට වෙඩි කිහිපයක් වැදිලා තියෙනවා. අනෙක් පොඩි හාමුදුරුවන් වහන්සේටත් වෙඩි වැදිලා තියෙනවා." යනුවෙනි.

පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ උදරය ප‍්‍රදේශයට වෙඩි ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි පැවසෙන්නේ. උන්වහන්සේ ඊයේ රාත‍්‍රියේ හම්බන්තොට රෝහලේදී පැය 05ක ශල්‍ය කර්මයකට ද ලක්කර තිබෙනවා. 

(මේ සම්බන්ධ මීට පෙර පළ වූ පුවත් මෙතැනින්)