Friday, March 29, 2024

General line - 0115112241

කිරිවෙහෙර විහාරාධිපති හිමි ප්‍රතිකාර ලබන රෝහලෙන් ඉල්ලීමක් - හිමියන් ගුවනින් කොළඹට ගේන්න ලක්ෂ 07කුත් වැය වෙලා (UPDATE)

හේමන්ත කහවලගේ/සජිත් තිලකරත්න




වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් තවදුරටත් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබනවා. රෝහලේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු දැනුම් දුන්නේ කිරිවෙහෙර නාහිමියන්ගේ සුවදුක් බැලීමට කිසිවෙකුටත් පැමිණීමට ඉඩ නොදෙන බවයි. 

උන්වහන්සේට ප‍්‍රතිකාර කිරීමට අදාළ සියලූ වියදම් ආණ්ඩුව විසින් දරනු ලබන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා නෙත් නිවුස් වෙත කියා සිටියා.

රත්මලානේ සිට හම්බන්තොටට ගොස් යළි නාරාහේන්පිටට ගුවනින් උන්වහන්සේ රැගෙන ඒම සඳහා වැය වූ මුදල ද ආණ්ඩුව ලබාදීමටයි තීරණය කර ඇත්තේ. ඒ සඳහා වැය වී ඇතැයි පැවසෙන මුදල රුපියල් ලක්ෂ හතහමාරක්.

කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් හට වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

ඒ, මහසෙන් දේවාලයේ කපු ධුරය දැරූ අසේළ බණ්ඩාර සිද්ධියේ ප‍්‍රධාන සැකකරු බවට අනාවරණය වීමත් සමගයි.

තංගල්ල පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් 08ක් තවදුරටත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ මෙහෙයවනවා.  
 

---------------------------------

කිරිවෙහෙර විහාරාධිපති හිමිට තවත් සැත්කමක් (UPDATE)

(14-06-2018 06:00)

 

වෙඩි ප‍්‍රහාරයකට ලක්වූ කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් හට ඊයේ (14) රාත‍්‍රියේ තවත් සැත්කමක් සිදු කර තිබෙනවා.

ඒ, උන්වහන්සේ මේ වනවිට ප‍්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලේදීයි.

රෝහලේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ උන්වහන්සේගේ සිරුර තුළ උණ්ඩ කැබලි කිහිපයක් තිබූ බැවින් මෙම සැත්මක සිදු කළ බවයි.

වෙඩි ප‍්‍රහාරයකට ලක්වීමෙන් පසු දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කෙරුණු උන්වහන්සේ වැඩිදුර ප‍්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කෙරුණා. එහිදී ද කිරිවෙහෙර නාහිමියන්ට පැය 5 ක ශල්‍යකර්මයක් සිදු කළා. උන්වහන්සේ ඊයේ (13) පස්වරුවේ කොළඹට රැගෙන ආවේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින්. 

නාහිමියන් සහ තවත් හිමි නමක් පෙරේදා (12) රාති‍්‍රයේ මෙම වෙඩි ප‍්‍රහාරයට ලක් වුණේ ආගමික වතාවත්වල නිරතවී කිරිවෙහෙර උඩ මළුවේ සිට වැඩම කරමින් සිටියදීයි. වෙඩි තැබීම සඳහා පුද්ගලයින් තිදෙනෙකු පැමිණ තිබූ අතර ඔවුන් පැමිණි සුඛෝපභෝගි ජීප් රථය කතරගම පුදබිම ආසන්නයේ දමා ගොස් තිබියදී පසුව සොයා ගැණුනා.

පොලිසිය ඊයේ පස්වරුවේ පැවසුවේ වෙඩි තැබූ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු මහසෙන් දේවාලයේ ප‍්‍රධාන කපු ධුරය දැරූ පුද්ගලයා වන අසේල බණ්ඩාර බවයි. ඔහුගේ නිවසේ තිබී ජීව පතරොම් 10ක් සහ තවත් තියුණු ආයුධ සොයා ගැණුනා. ඔහු මේ වනවිට ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 
 

(මේ සම්බන්ධ මීට පෙර පළ වූ පුවත් පහතින්)

කිරි වෙහෙර නාහිමියන්ට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු පතුරම් කඩු කිනිසි ගෙදර දමා නිවසින් පැන ගිහින්

වෙඩි වැදුණු කිරිවෙහෙර නාහිමි ගුවනින් කොළඹට වැඩමවූ අයුරු (PHOTOS)

කිරිවෙහෙර විහාරාධිපති හිමිව කොළඹට රැගෙන එයි (UPDATE)