Friday, March 29, 2024

General line - 0115112241

පෞද්ගලික පාසල්වලදී දරුවන් පීඩාවට පත් කෙරෙන ක්‍රමවේදයක් ගැන හෙළිවෙයි




අර්ධ රාජ්‍ය හා පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේදී එම ළමුන් පීඩාවට පත්වන ක‍්‍රමවේදයක් පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු අනාවරණ වුණා.

වැඩිදුරටත් කළ සොයා බැලීමේදී හෙළි වුණේ මෙම පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමට පෙර සිසුන්ට වාචික විභාගයකට හා ප‍්‍රායෝගික පරීක්‍ෂණයකට මුහුණදීමට සිදුවන බවයි.

එහිදී සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයක් ඉදිරියේ සිසුවාට හෝ සිසුවියට තනිව පෙනී සිට ඔවුන් අසන ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතු වනවා. සම්මුඛ පරීක්‍ෂණයේදී අසනු ඇතැයි අපේක්‍ෂිත ප‍්‍රශ්නවලට ඊට පෙර, දින කිහිපයක සිට මව්පියන් නිවසේදී දරුවා හුරු කරවන තත්ත්වයක්ද දැකිය හැකියි. ඇතැම් ප‍්‍රශ්නවලට අසත්‍ය පිළිතුරු ලබාදීමටද ඇතැම් දෙමව්පියන් දරුවන් හුරුකරවන බවටයි නෙත් නිවුස් වෙත අනාවරණ වුණේ. 

අධ්‍යාපනය ලැබීමට පාසලට ඇතුළත්වීමේ අපේක්‍ෂාවෙන් පළමු ශ්‍රේණියට පැමිණෙන සිසු දරු දැරියන් අධ්‍යාපනය ලැබීමට පෙර මෙවැනි විභාගයකට මුහුණදීමෙන් ඔවුන් දැඩි පීඩාවට පත්වන බවයි අධ්‍යාපනඥයින් පවසන්නේ. එය දරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බවටද ප‍්‍රකාශ වනවා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවාගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ එය මූලික ළමා අයිතිවාසිකම් උල්ලංගණය කිරීමක් බවයි. අධ්‍යාපනය ලැබීමේ අයිතිය සැමට සාධාරණ විය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මෙලෙස දරුවන් ඇතුළත් කර ගැනීමේදී ඔවුන්ට සිදුවන පීඩා සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති එච්. එම්. අබේරත්නගෙන් ද නෙත් නිවුස් විමසීමක් කලා.

ඔහු පෙන්වා දුන්නේ එම කටයුතු බොහෝවිට සිදු වන්නේ දරුවා නොදැනුවත්වම දරුවාට හිංසාවක් පීඩාවක් සිදුවෙන ආකාරයට බවයි.

නෙත් නිවුස් කළ වැඩිදුර සොයා බැලීමකදී හෙළි වුණේ මෙවැනි සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීම රජයේ පාසල්වලට තහනම් කර ඇති බවයි. එලෙස පරීක්‍ෂණ පැවැත්වීම දරුවාට කරන අසාධාරණයක් මෙන්ම වැරදි කි‍්‍රයාවක් බවද අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්‍යක්‍ෂ ජයන්ත වික‍්‍රමනායක ප‍්‍රකාශ කළා.

එබැවින් නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ පෞද්ගලික පාසල් භාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ පී. එම්. සලාහුදීන්ගෙන්ද විමසීමක් කළා. ඔහු කියාසිටියේ අර්ධ රාජ්‍ය හා පෞද්ගලික පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කිසිඳු අතපෙවීමක් සිදු නොකරන බවයි.

ළමුන් පමණක් නොව ගුරුවරුන්ද ඇතුළත් කර ගන්නේ අදාළ පෞද්ගලික පාසල්වල අභිමතය පරිදි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ශ‍්‍රී ලංකාව තුළ අර්ධ රාජ්‍ය පාසල් 36 ක් හා පෞද්ගලික පාසල් 44ක් පවතිනවා.