Friday, March 29, 2024

General line - 0115112241

අසිරිමත් පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භය අද - නිල ගීතය වාර්තා බිඳිනු ඇතැයි අනාවැකි (VIDEO)

කසුන් කැළුම්




සත්කාරක රුසියාව සහ මැදපෙරදිග පාපන්දු බලවතුන් වන සෞදි අරාබිය අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (14) රාත්‍රී 8.30ට මොස්කව් නුවර ලුසිනිකි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන්නේ රුසියාවට ආවේනික අංග රැසකින් සමන්විතව පැවැත්වෙන අසිරිමත් සමාරම්භක උත්සවයකින් පසුවයි. 

පළමු තරගය ඊට මිනිත්තු 30කට පසුව ආරම්භ කෙරෙනවා. සමාරම්භක උත්සවයට සමගාමීව ලෝක ප්‍රකට රතු චතුරස්‍රයේදීත් වෙනම උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ලුසිනිකි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන උත්කර්ෂවත් සමාරම්භක උළෙලේදී අනූව දශකයේ එංගලන්තයේ පොප් ගායන ක්ෂේත්‍රය තුළ සුපිරි තරුවක් වී සිටි රොබී විලියම්ස් ගායනයෙන් එක්වන අතර ඒ හැරුණු විට 500ක පමණ නර්තන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ අපූරු ප්‍රසංග, රුසියාවට ආවේනික ජිම්නාස්ටික් සංදර්ශන සමාරම්භක උළෙල හැඩ කිරීමට නියමිතයි.

ලෝක කුසලානයේ තේමා ගීතය

ජූලි මස 15 වැනිදා තරගාවලියේ අවසන් මහා තරගය සහ සමාප්ති උළෙල මේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර ඉකුත්දා  එළිදැක්වු මෙවර පාපන්දු තරගාවලියේ තේමා ගීතය වන live it up ගීතය සජීවිව ඉදිරිපත් කිරීමට ඊට දායකත්වය දුන් ගායක ගායිකාවෝ සූදානම්වී සිටිනවා. 

සුප්‍රකට අමෙරිකානු රංගන ශිල්පි විල් ස්මිත්, ඇල්බීනියානු සුරූපි ගායිකා එරා ඉස්ට්‍රෙෆී, අමෙරිකානු ගායක නිකී ජෑම් සහ අමෙරිකානු ඩී.ජේ. ඩිප්ලෝ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල ගීතය සජීවිව ඉදිරිපත් කිරීමට නියමිතයි. 

නිල ගීතයේ වීඩියෝ පටයට පෙනී සිටි බ්‍රසීලයේ හිටපු විශිෂ්ට ක්‍රීඩක රොනල්ඩීනෝ ද මේ අවස්ථාවට එක්වීමට නියමිතයි.

ලිව් ඉට් අප් ගීතය වසර 2010 දකුණු අප්‍රිකාවේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කළ සුපිරි ගායිකා ශකීරා ගැයූ ‘වකා වකා‘ ගීතයට වැඩි ජනප්‍රියත්වයක් අත්කර ගනු ඇතැයි දැනටමත් අනාවැකි පළවී තිබෙනවා.

නිල සුරතලාගේ රංගනයක්

සමාරම්භක උළෙලේදී මෙවර තරගාවලියට නිර්මාණය කළ නිල සුරතලාගේ අපූරු රංගනයක් ද එක්වී තිබෙනවා. රුසියාවට ආවේනික වෘක විශේෂයක් වන සබිවකා පවුලේ වෘකයකු තරගාවලියේ නිල සුරතලා වශයෙන් තෝරාගත්තේ පසුගිය වසරේ නොවැම්බරයේදීයි. නිල්, සුදු හා දුඹුරු වර්ණය සංකලනය වූ ඇඳුමකින් සැරසී සිටින නිල සුරතලාගේ ලාංඡනය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ 21 හැවිරිදි රුසියානු තරුණියක වන එකටෙරිනා බොචරෝවාටයි. ඒ සඳහා පැවැති නිර්මාණ තරගයෙන් ජයගත්තේ මේ තරුණිය නිර්මාණය කළ සබිවකා වෘකයාගේ රුවයි. එය තෝරාගැනීම සඳහා අන්තර්ජාලය මගින් ඡන්ද විමසීමක් ද සිදුකර තිබුණා.

(නිල ගීතය පහතින් දැක්වෙයි)